අවවාදයට කෝප වූ, ප්‍රසිද්ධ පාසලක සිසුන් එක්වී ගුරුවරයෙකුට අමානුෂික ලෙස පහර දෙයි - සියල්ලන් සංවේදී කරමින් කැමරාවක පටිගත වෙයි (VIDEO)
අද (24) පාසල් සිසුන්ගේ කලහකාරී හැසිරීම් පිළිබඳ පුවතක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. නිසි විනයකින් යුතුව පාසල වෙත පැමිණෙන ලෙස විනයභාර ගුරුවරයා දුන් අවවාදයට කෝපවූ පුත්තලමේ පාසලක සිසුන් පිරිසක් එම ගුරුවරයාට පහරදී තුවාල සිදු කර තිබේ.
ඊයේ(23) මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පුත්තලම මුස්ලිම් විද්‍යාලයක සිසුන් සිය විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා පාසල වෙත පැමිණ තිබුණි.
එහිදී, සිසුන් කිහිප දෙනෙකු පැමිණ තිබුණේ පාසලට නොගැලපෙන ලෙස කොණ්ඩය සහ රැවුල වවාගෙනය. විභාග ප්‍රවේශපත්‍ර ගැනීමට අවශ්‍ය නම් විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස පාසලේ විනය භාර ගුරුවරයා එහිදී සිසුන්ට අවවාද කර ඇත.
ඉන්පසු අදාළ සිසුන් පාසලෙන් පිටත්ව ගොස් යළි කොණ්ඩය සහ රැවුල කපාගෙන පාසලට පැමිණ සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබුණි. නමුත් ගුරුවරයාගේ අවවාදයෙන් කෝපවී සිටි සිසුන් පිරිස පාසල අවසන් වීමෙන් පසු විනයභාර ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසීරීමට පටන් ගෙන තිබේ.
පුත්තලම පොලීසිය පවසන්නේ, සිසුන් 25ක් පමණ නිවස ඉදිරිපිට රැස්වී හූ කියමින් නිවස දෙසට ගල් ප්‍රහාර පවා එල්ල කර ඇති බවය. එහිදී මෙම සිසුන් තම පෙළපොත් පවා ඉරාදමා තිබේ. එම අවස්ථාවේ නිවසින් පිටතට පැමිණි ගුරුවරයාව සිසුන් කිහිපදෙනකු විසින් අල්ලාගනිද්දී තවත් පිරිසක් ඔහුට දරුණු ලෙස පහරදී තිබුණි.
පුත්තලම පොලීසිය පැවසුවේ, එක් සිසුවෙක් ගුරුවරයාගේ මුහුණ ට එල්ල කළ ගල් පහරකින් ගුරුවරයාගේ තොල් දෙක පුපුරා ගොස් ඇති බවය. පසුව ප්‍රදේශවාසීන් එක්වී සිසුන්ව එම ස්ථානයෙන් පළවා හැරීමට කටයුතු කළ ඇති අතර එහිදීත් සිසුන් ගුරුවරයාට පහරදීමට උත්සාහ කර තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි ගුරුවරයා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. පහරදීමට සම්බන්ධ සිසුන් 4දෙනෙක් පුත්තලම පොලීසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
පොලීසිය පවසන්නේ, පහරදීමට සෘජුව සම්බන්ධ තවත් සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ගුරුවරයාගේ නිවස අසලට රැස්වූ සෙසු සිසුන් සියලු දෙනා අයුතු ජනරාශිය නමැති චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා බවය. මේ අතර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එම පාසලේ අනෙක් සිසුන් සහ ගුරුවරුන් අද පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |