මවක් සහ දරු දෙදෙනෙකු සිරකරගෙන සිටි පොලිස් නිලධාරියා..
කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකරගෙන සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ කාන්තාවගේ මව සිදුකළ පැමිණිල්ලක් අනුවයි. දින 6 ක පමණ කාලයක් තිස්සේ තම දියණිය සහ ඇගේ දරු දෙදෙනා නිවසක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට අදාළ මව විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව අදාළ කාන්තාව සහ ඇගේ දරු දෙදෙනා මතුගම - කටුගහහේන ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අද අලුයම මුදාගත් අතර නිවස් හිමි කාන්තාව සහ පොලිස් සැරයන්වරයෙකු වන ඇයගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් සැරයන්වරයාගේ බිරිඳ විසින් විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා නිවසේ රඳවාගෙන සිටි කාන්තාවගේ ස්වාමි පුරුෂයාට තම ප්‍රදේශය අවට පුද්ගලයන් 35 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් අත්තිකාරම් ලෙස ලබාදී ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ පුද්ගලයා රැකියා ලබා නොදී ඔවුන් මග හරිමින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔහු මුදල් ලබා දෙනතුරු අදාළ 42 හැවිරිදි බිරිඳ සහ ඇයගේ 7 හැවිරිදි පුතු සහ සිව් හැවිරිදි කුඩා දියණිය මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |