පොලිස් ආරක්ෂාව යටතේ සිටි අයෙක් රෝහලෙන් පැනයයි..
දෙහිවල - රෝහල්පාරේ පිහිටි වායු සමීකරණ යන්ත්‍ර අලුත් වැඩියා කරන ස්ථානයකට අනවසරෙන් ඇතුළු වූ බව පවසමින් පිරිසකගේ පහරකෑමට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයා ඉන් පලාගොස් තිබෙන බව වාර්තා වනවා.
මොහු ඇතුළු තවත් අයෙකු ඊයේ (09) අලුයම් කාලයේ මෙම ස්ථානයට ඇතුලු වූ බව පවසමින් පුද්ගලයින් පිරිසක් ඔවුන්ට පහර දී තිබුණා.
පසුව, පහරකෑමට ලක් වූ 27 හැවිරිදි බඩෝවිට පදිංචි පුද්ගලයෙකු මියගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු දෙහිවල පොලිස් ස්ථානයේ දී අත්අඩංගුවට ගණුලැබුවා.
අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19ත් 33ත් අතර වයස්වල පසුවන කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් හා රුවන්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
මොවුන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත ඇතුළු වූ දෙදෙනෙකු අල්ලාගෙන පැන යාමට උත්සාහ කිරීමේ දී පහර දී රඳවා ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ බවයි.
කෙසේවෙතත් එම අවස්ථාවේ දී පොලීසිය මෙම පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කෙරුණු අතර, පසුව අදාළ පුද්ගලයින් පොලිස් ස්ථානයට රැගෙන ආ ලොරි රථයක් සහ වෑන් රථයක් මෙන්ම, මියගිය පුද්ගලයා හා තුවාලකරු පැමිණි බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගැණුනා.
මියගිය පුද්ගලයා වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වූ බවට සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහරදී, රඳවාගෙන ඔහු සමග පැමිණි පුද්ගලයා ජංගම දුරකථනයට ඇමතුමක් දී ඔහුව ද ගෙන්වා පහරදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පසුව සැකකරුවන් විසින් අපරාධ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අනතුරුව සැකකරුවන් විසින් මියගිය පුද්ගලයා හා තුවාලකරු පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට රැගෙනවිත් ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ, කෙසේ වෙතත්, තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |