ඩොලර් මිලියන 10ක දැවැන්ත ආයෝජනයක්
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ නවීන පහසුකම් රැසකින් සමන්විත විශාලතම ගබඩා සංකීර්ණයක් ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම් ජාලය විසින් අද (19) උදෑසන පැවති උත්සවයකදී විවෘත කර තිබේ.
මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයක් සිදුකර ඇති අතර, වර්ග මීටර් 150,000ක වපසරියකින් යුක්තය.
භාණ්ඩ පැටවීම සඳහා ස්ථාන 24කින් සමන්විත මෙම ගබඩා සංකීර්ණය තුළ භාණ්ඩ පැලට් 23,000ක් ගබඩා කිරීමේ පහසුකම්ද පවතී.
ඉන්දියාව, මැලේසියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවලින් මෙරටට රැගෙන එන විවිධ භාණ්ඩ සඳහා අගය එකතු කර නැවත ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතු සඳහා මෙම ගබඩා සංකීර්ණය භාවිත කිරීමට නියමිතය.
එමෙන්ම දේශීය හා විදේශීය ආනයන අපනයන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදන සඳහාද කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපොළ හරහා ආනයන හා අපනයන කටයුතු සිදුකිරීමට අවශ්‍ය ලොජිස්ටික් පහසුකම් මෙම ගබඩා සංකීර්ණය මඟින් සැපයීමට නියමිතය.
ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම් ජාලය සතුව මුතුරාජවෙල ප්‍රදේශයේද මෙවැනි ගබඩා සංකීර්ණයක් පවතින අතර, ඉන්දියාව, බංග්ලාදේශය, ඩුබායි, වියට්නාමය සහ සිංගප්පූරුව ඇතුළු රටවලද එම සමාගම් ජාලයට අයත් ගබඩා සංකීර්ණ පවතී.
ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල, ඩාර්ට් සමාගම් සමූහයේ සභාපති චාල්ස් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.