උසස් පෙළ ප්‍රතිඵල ලඟ ලඟම බලාපොරොත්තු වන්න..සිසුන්ට සුභ පණිවුඩයක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jul 16, 2023 07:33 AM GMT
Report

2022 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සියයට 90ක් පමණ මේවනවිට අවසන් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එම විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටි දරුවන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ද ලබන 27 වනදායින් අවසන් කරන බවයි.

පසුගිය 15 වනදා ආරම්භ කළ ඉංජිනේරු තාක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ ද ලබන 21 වනදායින් අවසන් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි අයදුම්කරුවන් 13,000කට ආසන්න පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක විභාග මධ්‍යස්ථාන ගණන 48ක්.

උසස් පෙළ විභාගයට අදාළ ජෛව පද්ධති තාක්ෂණ විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ද අගෝස්තු 05වනදා සිට 07 වනදා දක්වා මධ්‍යස්ථාන 77කදී පැවැත්වීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සඳහා අයදුම්කරුවන් 15,000කට ආසන්න පිරිසක් පෙනී සිටීමට නියමිත බවයි.

එම ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන තෙක් මෙතෙක් ඇගයීම් සිදු කළ විෂයන්ට අදාළ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේවනවිට සිදු වනවා.

ලබන මාසය අවසන් වීමට පෙර 2022 වසරට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවටයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කර ඇත්තේ.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සඳහා එම මධ්‍යස්ථාන 42කදී එක්ව සිටින ගුරුවරුන් සංඛ්‍යාව 15,000කට ආසන්න වනවා.

මේ අතර 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් කැඳවීම ලබන 28 වනදායින් අවසන් වනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ එම විභාගයට පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සිය අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුයි.

පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත යොමු කළ යුත්තේ විදුහල්පතිවරයා හරහායි. මේ වනවිටත් පාසල් 500කින් ඒ සඳහා අයදුම්පත් යොමුකර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පසුගියදා නිමා වූ 2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්‍ෂණ අගෝස්තු මස 2 වනදා සිට පැවැත්වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සදහා අයදුම්කරුවන් 15,000 කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි.

එම ප්‍රායෝගික පරීක්‍ෂණ කටයුතු අවසන් වූ පසු ලබන මස මැද භාගයේ සිට සාමාන්‍ය පෙළ විභාගයට අදාළ පිළිතුරු පත් පරීක්‍ෂා කිරීමේ කටයුතු ආරම්භ කරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.