උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ඇසෙන අමුතුම කතාව මෙන්න..

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination
By Aruna Oct 05, 2022 12:43 AM GMT
Report

විභාග දෙපාර්තමේන්තුව මගින් රුපියල් පනස්හතරකෝටි හැටදෙලක්ෂ හැටහතරදහස් හාරසියපනස් දෙකක (546,264,452) ක වියදමක් දරා ටර්න් කි මුද්‍රණ යන්ත්‍රයක් මිලදීගෙන තිබුණ ද මෙම වර්ෂයේ (2022) පවත්වනු ලැබූ 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ සමස්ත ප්‍රශ්න පත්‍රවලින් එම යන්ත්‍රයෙන් මුද්‍රණය කොට ඇත්තේ සියයට 10 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා මෙකී මුද්‍රණ යන්ත්‍රය සඳහා රුපියල් අසූහතරලක්ෂ විසිඅටදහස් හයසිය තිස්හතක් වටිනා (8,428,637) Wrapping Solution නමැති අමතර කොටස 2018 වර්ෂයේදී මිලදීගෙන තිබිණි.

එහෙත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ලබා නොගෙන මිලදී ගත් දින සිට නිෂ්කාර්යව පැවැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ප්‍රශ්නපත්‍ර 4,898,000 ක් මුද්‍රණය කොට තිබිණි.

එහෙත් මෙම මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණයකොට තිබුණේ පිටපත් 509,000 ක් හෙවත් සමස්ත ප්‍රශ්නපත්‍රවලින් සියයට 10 ක් පමණි.

විභාග ප්‍රශ්නපත්‍රවල මනා නිමාවක් ලබා ගැනීම මගින් විභාග අපේක්ෂ්කයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම හා රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙකී මුද්‍රණ යන්ත්‍රය මිලදී ගෙන තිබිණි.

මෙකී යන්ත්‍රයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.

විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now