"..මල්ලිටයි නංගිටයි බඩගිනියි කිව්වම මම කොස් කඩලා දෙනවා..ලුණු දාලා කනවා, ඒව කාලා තමයි අපි ඉන්නේ.." කොස් කඩා මුළු පවුලම රකින 9 හැවිරිදි දරුවා..මෙරටින් ඇසෙන සංවේදී කතාව..(VIDEO)

Jack Kahavaththa Andhana sasin Dinesh
By Sewvandhi Mar 16, 2022 09:54 AM GMT
Report

දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් කුසට අහරක්වත් නැති දරු පවුලක් පිළිබඳව අපට කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන් වාර්තා වුණි. මේ හේතුවෙන් 9 හැවිරිදි පවුලේ වැඩිමල් දරුවාට සිදුව ඇත්තේ කොස් ගෙඩි කඩා සිය බාල සහෝදර සහෝදරියන්ගේ කුස පිරවීමටය.

"නංගිලා, මල්ලිලා බඩගින්නේ ඉන්නකොට, මම කොස් ගහට නැගලා, කොස් ගෙඩියක් කඩලා අම්මාට ගෙනත් දෙනවා. අම්මා අපිට ඒක තම්බලා දෙනවා. එහෙම තමා අපි කන්නේ. මස් මාළු කන්නේ නෑ. අපි ආසයි ඒවා කන්න. අපිට ඒවා ගෙනත් දෙන්නත් කවුරුත් නෑ. අපි තියෙන කොස් ගෙඩියක් කාලා ඉන්නවා."

මේ වයස අවුරුදු 9ක් වූ සසින් දිනේෂ් තම බඩගින්න ගැන අපට දැක්වු අදහස්ය. දරිද්‍රතාවයේ හිනි පෙත්තටම ගිය සසින්ගේ පවුලට එදා වේලවත් පිරිමහ ගැනීම මේ වනවිට ඉතා අතිශය අසීරු කාර්යයක් බවට පත්ව අවසන්ය. ඒ නිසා මේ පුංචි දරුවාට සිදුව ඇත්තේ කොස් ගසකට නැග කොස් ගෙඩියක් කඩාදී සහෝදර සහෝදරියන්ගේ කුස පිරවීමටය. සසින් දිනේෂ්ගේ මව මේ ගැන අපට සඳහන් කර සිටියේ, ඉතා සංවේදී කතාවකි.

"මේ දරුවා ගෙනත් දෙන කොස් ගෙඩිය කාලා තමයි අපි ඉන්නේ. ලුණු විතරයි තියෙන්නේ. ලුනු දාලා කන්න දෙනවා."

යනුවෙන් ඇය පැවසූවාය. වැසි දිනවලට නිවස සම්පූර්ණයෙන්ම තෙමී යන නිසාවෙන් කොස් ගෙඩියක් තම්බා ගැනීම වුවත් ඔවුන්ට ඉතා අපහසු කාර්යයකි. කුසට අහරක් ඇතිව සිටින වාර ගණනට වඩා මොවුන් කුසගින්නේ සිටින වාර එමටය. එවන් විටක වුවද ඇති එකම බිස්කට් එක පවා කුඩා කැබලිවලට කඩා ආහාරයට ගැනීමට පොඩිත්තන් පුරුව සිටී. 

 මව, පියා ඇතුළු පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු එම පවුලේ ජීවත්වෙයි. ස්ථිර නිවසක් නොමැති මොවුන් මේ වන විට ජීවත්වන්නේ කහවත්ත ඇන්දගාන ප්‍රදේශයේ ය. නමුත්, මේ නිවසින්ද මෙම දරු පවුලට ඉවත්ව යාමට සිදුව තිබේ. සසින් දිනේෂ්ගේ මව,

"අපි හිටිය ගෙදරිනුත් අපිව එළවලා දැම්මා. ඉතින් මං දරුවොත් අරන් යන්න තැනක් නැති නිසා මෙතෙන බලෙන් අල්ල ගෙන ඉන්නේ. දැන් ඒකටත් අපිට නඩුදාලා තියෙන්නේ."

ඔවුන්ට මේ ඉරණම අත්ව ඇත්තේ ඔවුන්ගේ පියා ලේ පිළිකාවකින් පීඩා විඳින පසුබිමකය. දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන මෙම පුංචි දරුවන්ට පාසල් ගමන පවා මේ වනවිට විශාල අභියෝගයක් බවට පත්වෙලා. පුංචි සසින් පිළිබඳ වැඩිදුර තොරතුරු 077 6114050 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ )


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now