මීගමුව බන්ධනාගාර සිද්ධියේදී දිවි අහිමි වූ 08 වැනි නිලධාරියාගේ දේහය අද කඹුරුපිටියට

Negombo Death Prison Latest Headlines Sinhala news
By R.rishma Jul 09, 2026 09:38 AM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර රැඳවියන්ගේ පහරදීමෙන් දිවි අහිමි වූ 08 වැනි බන්ධනාගාර නිලධාරියා වන බන්ධනාගාර නියාමක එම්.ජී. උපාලි මහතාගේ දේහය අද (09) ඔහුගේ කඹුරුපිටිය හොරපාවිට පිහිටි නිවස වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

රාජකාරියේ නිරතව සිටියදී මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රැඳවියන්ගේ අමානුෂික පහරදීමකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමක මත්තක ගමගේ උපාලි මහතා ඊයේ (08) දහවල් ජීවිතක්ෂයට පත්විය.

වයස අවුරුදු 42ක් වූ උපාලි මහතා නාවික හමුදාවේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මීට වසර 05කට පෙර බන්ධනාගාර සේවයට එක්ව තිබේ.

මාතර කඹුරුපිටිය හොරපාවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු වයස අවුරුදු 06ක් සහ 09ක් වන පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.

මේ අතර, මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාව අතරතුර දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක එස්.ඩී.එස්. අබේවර්ධන මහතාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල වත්තේගෙදර පිහිටි නිවස වෙත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද පෙරවරුවේ පැමිණියේය.

එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේදී දිවි අහිමි වූ බන්ධනාගාර ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත.