ලකුණු 30යි.. ලයිසන් එක අහෝසියි - ලබන මාර්තු සිට රියදුරන්ට අලුත් නීතියක්

Department of Motor Vehicles Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 22, 2026 07:27 AM GMT
Report

මෝටර් රථ ධාවනයේදී සිදුකරන වැරදි සඳහා ලකුණු එකතු කිරීමේ ක්‍රමවේදය ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික ගුවන් හමුදා එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.

අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී සිදුකරන එක් එක් වරදට අදාළව වෙන වෙනම ලකුණු එකතු වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව රියදුරෙකුට ලකුණු 30ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු වන බවත්, නැවත රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පිළිගත් රියදුරු පාසලක් වෙත ගොස් නැවතත් රිය පැදවීමේ යෝග්‍යතාව තහවුරු කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

48cc යතුරුපැදිත් ලියාපදිංචිය අනිවාර්යයි 

මේ අතර, 48cc කාණ්ඩයට අයත් යතුරුපැදි විශාල සංඛ්‍යාවක් රට පුරා පවතින බවත්, ඒවා ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් අලෙවිකරුවන් ප්‍රකාශ කළද ලියාපදිංචි නොකර එම යතුරුපැදි මාර්ගවල ධාවනය කළ නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

පැරණි යතුරුපැදි ලියාපදිංචි කිරීමේදී අදාළ රාමු අංකය සහිත සහතිකය ඇතුළු අවශ්‍ය ලේඛන රැගෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි සහතිකය ලබාගත යුතු බවද ඔහු පැවසීය.

වාහන යෝග්‍යතා සහතික ක්‍රමවේදයක්ද ඉදිරියේදී

මෝටර් රථ සඳහා දුම් පරීක්ෂාවට අමතරව යෝග්‍යතා සහතික ලබාදීමේ ක්‍රමවේදයක්ද ඉදිරියේදී හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව වාහන නියමිත කාලසීමාවන් හෝ දුර ප්‍රමාණයන් අනුව පිළිගත් ගරාජයකට යොමු කර පරීක්ෂා කරවා යෝග්‍යතා සහතිකයක් ලබාගැනීමෙන් පසු මාර්ගයේ ධාවනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

අකුරණ අනතුරට සම්බන්ධ මිශ්‍රණ රථය ගැනත් පරීක්ෂණ

අකුරණ ප්‍රදේශයේ සිදුවූ සිද්ධියට සම්බන්ධ සිමෙන්ති මිශ්‍රණ රථය පිළිබඳවද මේ වන විට පරීක්ෂණ සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම රියදුරු පාසල් සඳහා ඇගයීමේ උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බවද ඔහු පැවසීය.