මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - 100කට ආසන්න පිරිසක් තුවාල
මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ.
එම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
අද පෙරවරුවේ යළිත් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක්ද ඇසුණු බව අප වාර්තාකරු සඳහන් කළේය. උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති අතර පසුව ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට ඇතුළු වී තත්ත්වය පාලනය කර ඇත. මේ අතර, නැවතත් වෙඩි හඬ ඇසීමත් සමඟ බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවක නිරතවූ අතර, එයද පාලනය කිරීමට පොලීසියට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව වාර්තා වේ.
පවතින තත්ත්වය හේතුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රැසක් බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා ඇති බවද වාර්තා වේ.