මුලු රටම බලා සිටින තීරණාත්මක දිනය අදයි..හරියටම වෙලාව පස්වරු 1.30ට.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Budget 2023
By Aruna Nov 14, 2022 01:58 AM GMT
Report

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂිතයි.

සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

2023 අය වැය යෝජනා ඔස්සේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අරඹමින් තරුණ තරුණියන්ට යහපත් රටකට අවශ්‍ය අලුත් වැඩපිළි‍වෙළක් නිර්මාණය කිරිමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රුපියල් බිලියන 7885ක වියදම් ඇස්තමේන්තුවක් සමඟින් ලබන වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 77 වැනි අයවැය ලේඛනය ලෙසින්.

මුදල් අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 1.30ට 2023 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට 77 වැනි අයවැය ලේඛනය ලෙසින් ඉරිපත් වන මෙවර අයවැයේ රජයේ වියදම් ඇස්මේන්තුව රුපියල් බිලියන 7885ක්.

එය පසුගිය වසරට සාපේක්ෂව 29.2%ක වැඩි වීමක් වන අතර 2022 වර්ෂයට අදාළව ඉදිරිපත් කෙරුණු අයවැයේ රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 6100ක් වුණා.

පසුගිය වසරට වඩා රුපියල් බිලියන 1785ක වැඩිවීමක් සමඟින් මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන්නේ රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන අවස්ථාවකයි.

පුනරාවර්තන වියදම්, සහනාධාර සහ වැටුප් සඳහා රුපියල් බිලියන 2442ක් වෙන් කර තිබෙන අතර, ප්‍රාග්ධන වියදම් ලෙසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1221ක්.

නව ඉදිකිරීම් සහ නිම කර ඇති ඉදිකිරීම් සඳහා ගෙවීමට ඇති මුදල්ල ප්‍රාග්ධන වියදම්වලින් පියවීමට නව අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

ලබන වසරට අදාළ අයවැය ලේඛනයෙන් වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ ණය වාරික සහ පොළී ගෙවීම සඳහා වන අතර එම ප්‍රමාණය රුපියල් බිලියන 4218ක්.

සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක්, අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක්, සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 432ක් සහ ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 410ක් වෙන් කර තිබෙනවා.

පසුගිය දා ඉදිරිපත් කරන ලද අතුරු අයවැය හැරුණු කොට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනය ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති.

මේ අතර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අද නොපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුවයි.

එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට විවෘත වන්නේ ද නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now