හොර රහසේම රට පනින්න ගිය 20ක් මාට්ටු වෙයි - නාවික හමුදාවෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 06, 2022 03:37 AM GMT
Report

නාවික හමුදාව ඊයේ (05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 16ක්, එක් කාන්තාවක් සහ වයස අවුරුදු 18ට අඩු තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් විසි දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස කලවංචිකුඩි, මඩකලපුව, මූතූර්, යාපනය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

එම පිරිස සහ බහුදින ධිවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

තවද, නීති විරෝධී සහ අවධානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කරමින් ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රම වලට හසු වී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join