ආසියානු පැරා ක්‍රීඩා පිටිය ජයගත් අපේ වීරයෝ මව්බිමට

Latest Headlines Sinhala news Puwath.lk Asian Games
By R.rishma Oct 27, 2026 11:18 AM GMT
Report

ජපානයේ අයිචි - නගෝයාහි පැවති 2026 පස්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 9ක් දිනා දෙමින් ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ (26) දිවයිනට පැමිණියහ.  

මව්බිමට ජයග්‍රහණ රැගෙන පැමිණි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගැනීමට සමත් වූ අතර, එය මෙරට පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනාදුන් වීරයෝ

ප්‍රදීප් සෝමසිරි – පිරිමි මීටර් 1500 (T46) ඉසව්වෙන් රන් පදක්කම.

ජනනි ධනංජනා වික්‍රමසිංහ – කාන්තා දුර පැනීම (T47) ඉසව්වෙන් රන් පදක්කම.  

රිදී පදක්කම් දිනාගැනීමට ජනනි ධනංජනා වික්‍රමසිංහ, ගලීනා බස්නායක, පාලිත බණ්ඩාර සහ නුවන් ඉන්දික ගමගේ සමත් වූහ.

මෙම ජයග්‍රහණ පදක්කම් සංඛ්‍යාවකට පමණක් සීමා නොවේ. අභියෝග හමුවේ නොසැලෙන මානසික ශක්තිය, කැපවීම, අධිෂ්ඨානය සහ ජයග්‍රහණය වෙනුවෙන් අත්නොහැර සටන් කිරීමේ වටිනාකම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය දක්ෂතා තුළින් මැනවින් පෙන්වා දුන්හ.

විවිධ ශාරීරික අභියෝග ජයගනිමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා ධජය ඉහළින් ඔසවා තැබූ ඔවුන්ගේ කැපවීම සමස්ත රටේම ගෞරවයට පාත්‍ර විය යුතුය.

මෙම ජයග්‍රහණ පිටුපස සිටින පුහුණුකරුවන්, පවුලේ සාමාජිකයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වූ සියලු දෙනාගේ දායකත්වය ද අගය කළ යුතුය. රට වෙනුවෙන් අභිමානවත් ජයග්‍රහණ රැගෙන ආ මෙම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේත්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේත් උණුසුම් සුබපැතුම් පිරිනැමෙන අතර, ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා දිවිය තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරයි.