බස් රථ රියදුරෙකුට වසර 12ක සිර දඩුවම් - හේතුව මෙන්න
කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර මහතා ඊයේ (06) 2007 වර්ෂයේ දී අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කරමින් මිරිහාන ප්‍රදේශයේ දී අනතුරක් සිදු කර පෙරපාසල් දැරියකට හා ඇගේ මිත්තණිය ජීවිතක්ෂයට පත්කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වරදකරු වූ බස් රථයේ රියදුරුට වසර 12ක සිර දඬුවමක් ලබා දීමට නියෝග කළේය.
එසේම බස් රථයේ හිමිකරුට ද රුපියල් 21,000ක දඩ මුදලක් නියම කිරීමට ද මහාධිකරණය නියෝග කර ඇත. 2007 වර්ෂයේ ජනවාරි මාසයේ දී මිරිහාන ප්‍රදේශයේ, අබලන් බස් රථයක් අධික වේගයෙන් හා අපරික්ෂාකාරි අයුරින් ධාවනය කිරීමේ දී නවතා තිබූ ත්‍රිරෝද රථ තුනක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබිණි.
එහි දී ත්‍රිරෝද රථයක් තුළ සිටි වයස අවුරුදු 05ක දැරියක් සහ ඇගේ මිත්තණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර බස් රථයේ ගමන්ගත් මගීන් පිරිසකට ද බරපතළ තුවාල සිදු ව තිබිණි
ඒ අනුව අපරික්ෂාකාරිව රිය ධාවනය කිරීමෙන් දෙදෙනෙකුගේ මරණය සිදු කිරිම සහ තවත‍් පිරිසකට බරපතළ තුවාල සිදු කිරිම යටතේ රියදුරුටත් වරදට අනුබල දීම යටතේ බස් රථයේ හිමිකරුටත් එරෙහි ව 2017 වර්ෂයේ දී කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර මහතා දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ පළමු විත්තිකරු වූ කුසන්ත ගුණරත්න නම් බස් රථයේ රියදුරුට වසර 12ක සිර දඬුවමක් හා රුපියල් 18,000 ක දඩයක් නියම කිරීමට ඊයේ නියෝග කළේය.
එසේම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම්කර තිබූ බස් රථයේ හිමිකරුට වසර 15ක අත්හිටවූ සිර දඬුවම් හා රුපියල් 21,000ක දඩ මුදලක් ද නියම කර තිබේ.