දෙනෝදාහක් මැද පොලිස් නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දුන් තරුණයින්ට සිදුවූ දේ..
පිළියන්දල ප්‍රදේශයෙන් දෙනෝදාහක් ඉදිරියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටවී අමානුෂික ලෙස පහරදුන් සිද්ධියක් වාර්තා විය.
එනම්, පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් පහරදී මෙම අමානුෂික ප්‍රහාරය සිදුකර තිබූ අතර පසුව සිද්ධියට සම්බන්ධ ත්‍රීරෝද රථ රියදුරෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එනම් මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ කැස්බෑව පොලීසියට අනියුක්තව තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා ඉඩම් ගොඩකිරීමේ හා නිරවුල් කිරීමේ කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් සහ කැස්බෑව පොලිස් ස්ථානයේ පොලිස් විශේෂ කාර්යාංශයට අනියුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකරුවන් පහර දීමට යොදාගත් යකඩ පොල්ල සහ ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත. පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
බරපතළ තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත. රාත්‍රී 12.45ට පමණ සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ක්‍රීඩාංගණයේ පිටුපස දොරටුව අසලදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.
ඒ, සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා සිවිල් ඇඳුමින් යතුරුපැදියෙන් පැමිණ තිබූ කොස්තාපල්වරුන් දෙදෙනා රැගත් යතුරුපැදිය සහ සැකකරුවන් පැමිණ තිබූ ත්‍රීරෝද රථය එකිනෙක ගැටී ඇතිවූ සිද්ධියකින් පසුවය.
පිරිසගේ පහරකෑමෙන් පොලිස් නිලධාරින් දෙදෙනා මාර්ගයේ වැටී ඇති අතර ස්ථානයට රැස්වූ පිරිසක් විසින් නිලධාරීන් දෙදෙනාව පිළියන්දල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණි.
සිද්ධිය සැලවීමත් සමගම වහා ක්‍රියාත්මක වූ පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 05 දෙනෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන තිබුණි.
එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළියන්දල මඩපාත හා කොළඹුන්න ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21ත් 25ත් අතර පසුවන පිරිසකි.