ඩොලර් ගේන්න රජයෙන් අලුත් ක්‍රමයක්..වීසා ක්‍රමයත් වෙනස් කරයි..

Sri Lanka Sri Lanka visa
By Aruna Jun 01, 2022 02:19 AM GMT
Report

විදේශ විනිමය මෙරටට ගලා ඒමේ මාර්ගයක් ලෙස රජය විසින් යෝජනා කරන ලද විදේශිකයන් සඳහා දිගුකාලීන වීසා නිකුත් කිරීමේ වැඩසටහන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත.

‘ගෝල්ඩන් පැරඩයිස් වීසා’ යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහන මගින් විදේශිකයන්ට අන්තර් ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම සිදු කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් ඩොලර් ලක්ෂයක් (100000) තැන්පත් කරන විදේශිකයකුට වසර 10ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික වීසා නිකුත් කරනු ඇත.

මෙම තැන්පතුව සිදුකරන විදේශිකයන්ට පළමු වසරින් අනතුරුව ඉන් ඩොලර් 50000ක් ආපසු ගැනීමේ හැකියාව පවතින නමුත් ඉතිරි ඩොලර් 50000 අවම ශේෂයක් ලෙස අදාළ ගිණුමේ අඛණ්ඩව පවත්වාගත යුතුය.

මෙහි දී අදාළ විදේශිකයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට මෙම වීසා පහසුකමේ ප්‍රතිලාභ අත්විඳිය හැක.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපොළ (සුඛෝපභෝගී මහල් නිවාස) වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 75000ක් හෝ ඊට වැඩි මුදලක් වැය කරන විදේශිකයන්ටද වසර 05 සිට 10 දක්වා නේවාසික වීසා නිකුත් කෙරෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now