ලංකාවට වාහන ආනයනය ගැන විරෝධයක්..එකවරම සිදු වූ දේ මෙන්න..

Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka vehicle imports sri lanka
By Aruna Apr 30, 2024 05:27 AM GMT
Report

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බව ද කාරක සභා සභාපතිවරයා සඳහන් කර ඇත.

මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට වාහන ගෙන්වන ලද පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබා දෙන ලෙස කාරක සභාව ඉල්ලීම් කර තිබුණ ද නීතිපතිවරයාගෙන් විමසීමකින් තොරව එම තොරතුරු ලබාදිය නොහැකි බවට මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මෙම බදු සහනය මඟින් රුපියල් මිලියන100 සිට වාහන ගෙන්වා ඇති බවට අනාවරණය වී ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, බොහෝ සාමාන්‍ය රැකියාවල නිරත ශ්‍රමිකයන් මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි සැකයක් මතුවන බවත් කාරක සභාවේදී සාකච්ඡා වූ බවයි.

මේ වන විට බලපත්‍ර 1,019 ක් ලබා දී ඇති බවත් අමෙරිකානු ඩොලර් මිලියන 109.8ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත් අනාවරණය වී ඇත.

එමෙන්ම මෙතෙක් ලබාදී ඇති වාහන බලපත්‍රවල වටිනාකම ඩොලර් මිලියන 46ක් බව අදාළ නිලධාරීන් සඳහන් කරයි.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ, වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සඳහා පවතින එකම අවස්ථාව මෙය වන බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි.