ඉදිරි මාස කිහිපයේ මෙරට එළවළු මිල ගණන් වල වෙනස් වීම ගැන දැනුම්දීමක්..

Mahinda Amaraweera Businessman Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna May 04, 2024 04:11 AM GMT
Report

මෙම වසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කර සිටිනවා.

සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එළවළු හා පලතුරු අස්වනු අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වීමට නියමිතයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පැවසුවේ, එම නිසා මැයි, ජූනි සහ ජුලි මාසවලදී එළවළු මිල ඉහළයාමක් සිදුනොවන බවයි.

එහෙත් මෙවර මහ කන්නයේදී අධික වර්ෂාව නිසා එළවලු වගාව ප්‍රමාද වී ආරම්භ කළ අතර, වර්ෂාවෙන් විනාශ වූ එළවලු වගාවන් නැවත ආරම්භ කිරීම ද සිදුවුණා.

මෙම අස්වනු සියල්ල එකවර පැමිණීම නිසා වෙළෙඳපළේ එළවළු මිල ගණන් සීග්‍රයෙන් පහළ ගිය බව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

එමෙන්ම හිඟයකින් තොරව එළවළු වෙළෙඳපොලට සැපයීම අඛණ්ඩව සිදුවන අතර, යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු, පුහුණු හා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර සිටියි.

එම ආයතනය පෙන්වා දෙන්නේ, කාලගුණික වශයෙන් ඉදිරි කාලය තුළ දැඩි බලපෑමක් සිදු නොවුනහොත් හා දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය එසේම පැවතුනහොත්, මෙම වසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් වල අසාමාන්‍ය ඉහළයාමක් සිදුනොවනු ඇති බවයි.

මේ අතර ජනතාවගෙන් සියයට 90ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල ගණන් ඉදිරි මාස 03 තුළ නොවෙනස්ව පවතිනු ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කරයි. කෙසේවෙතත් කීරි සම්බා හා සම්බා සහල් මිල ගණන්වල යම් ඉහළයාමක් ඉදිරියටත් සිදුවිය හැකි බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම බඩඉරිඟු අස්වැන්න මෙවර ඉහළ ගොස් තිබෙන අතර, බඩඉරිඟු ගොවීන්ට දැනට හොඳ මිලක් ද ලැබී ඇති බවත්, මේ වනවිට බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 125ත් 135ත් වැනි මිල ගණන් යටතේ අලෙවි වන බවත් ප්‍රකාශ කරයි. මැයි සහ ජූනි මාසවල වෙළෙඳපල තුළ එළවලු හා පලතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගයන්හි මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දෙමින් එම ආයතනය මෙම කරුණු අනාවරණ කළේ ය.