"..කපුවන්ට සුරසැප ගන්න දෙවියන්ට සල්ලි පුදන්න එපා..දෙවින්ට පිං දුන්නම ඇති.." - වනවාසී රාහුල හිමියෝ
ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසන්නේ, කපුවන්ට සුරසැප විඳිමට රට පුරා විවිධ දේවාලවලට සල්ලි හා රත්තරන් පිදීම නතර කර ඒ මුදල් දුප්පත් දරුවන්ට බෙදාදීමට බැතිමතුන් දැන්වත් කල්පනා කළ යුතුව ඇති බවයි.
උන් වහන්සේ අවධාරණය කරන්නේ, දෙවියන්ගේ පිහිට පතා කපුවන්ට මුදල් පිදිමෙන් සිදුවන්නේ කපුවන් පොහොසත්වීම පමණක් යැයිද උන් වහන්සේ කියති. දෙවියන්ට සල්ලී පිදීමේ ගොන් වැඩ නතර කිරීමට දැන් කාලය එළැඹ ඇති බවයි.
වනවාසී රාහුල හිමියෝ වැඩිදුරටත් සදහන් කළේ,
කතරගම මහ දේවාලයේ මාසයක ආදායම රුපියල් කෝටි පහක් පමණ යැයි බස්නායක නිලමේවරයා පවසා තිබුණා. ඒ මුදල් යන්නේ කපුවන්ගේ සාක්කුවලට. රත්තරන් බඩුත් කපුවන් ගෙනයනවා කියලා කපුවෝම කිව්වා.
දැන් කතරගම දේවාලයට පූජාකරපු රන් තැටියක් අතුරුදන් වී තිබෙනවා. මේ හෙළිවූයේ කතරගම දේවාලයේ වංචා පමණයි. රටපුරාම දේවාලවල මේ වගේ වංචා සිදුවෙනවා.
පසුගිය දිනවල නවගමුවේ පත්තිනි දේවාලයෙත් සල්ලි වංචා හෙළිවීම නිසා කැටවලට සීල් තැබුවා. බැතිමතුන් දෙවියන්ට පූජාකරන සල්ලි හා රත්තරන් බඩුවලට සිදුවන දේ කවුරුවත් දන්නේ නැහැ. මේ අන්දමින් මහජන මුදල් වංචා සහගත ලෙස පිල්ලි ගැසීම වළක්වන්න විධිමත් පිළිවෙළක් ඕනේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ලා නිදිමරගාතේ වගේ ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. බලධාරින් මර නින්දේ ඉන්නකොට කපුවෝ හොඳ හැටි ජාවාරම් කරනවා. මේ නැතිබංගස්ථාන කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.
මිනිස්සුත් දෙවියෝ පස්සේ ගිහින් සල්ලි මිටි ගණන් පුදනවා. මේ ක්‍රමය නැති කරන්න ඕනේ. දෙවියන්ට පින් දුන්නාම ඇති. සල්ලි වැඩිනම් දුප්පත් ළමයින්ට අඩුගානේ කන්න ටිකක් අරන් දෙන්නවත් වැයකරනවා නම් ලොකු දෙයක්… යැයිද වනවාසි රාහුල හිමියෝ කීහ.
කපුවන්ගේ වංචා ගැන හොරකම් ගැන මාධ්‍යයෙනුත් දවසයි දෙකයි කතා කරන්නේ. ඊට පස්සේ හැමෝටම ඔක්කෝම අමතකයි. ආපහු කපුවෝ හොරකම දිගටම කරගෙන යනවා. ඒ නිසා මේ දේවාලවල හොරකම් වළක්වන්න වැඩපිළිවෙළක් යොදනවා වගේම බැතිමතුනුත් දෙවියන්ට සල්ලි පිදීම දැන්වත් නතර කළයුතු යැයිද උන් වහන්සේ කීහ.(උපුටාගැනීමක්)