පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදිකරුවන්

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Aug 28, 2022 01:35 PM GMT
Report

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදිකරුවන් හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අගෝස්තු 27 වන දින සවස් කාලයේ දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් කොළොන්නාව දෙස සිට වැල්ලම්පිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් නතර කර තිබේ.

සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැලඳ සිටි යතුරුපැදිකරු හා පසුපැදිකරු ට නතර කරන ලෙසට සංඥා කර ඇත. එහිදී යතුරුපැදිය විසින් පොලිස් අණ නොතකා ධාවනය කර ඇත. පළා යන යතුරුපැදියේ පසුපස අංක තහඩුව ද එම අවස්ථාවේදී නොතිබුණ බව පොලීසිය පවසයි. එම යතුරුපැදිය නැවැත්වීමට පොලිස් නිලධාරීන් දෙදෙනා ද යතුරුපැදියකින් පසුපස හඹා ගොස් ඇති අතර, බුත්ගමුව ප්‍රදේශයේ දී නවතා පරීක්ෂා කර ඇත.

එහිදී පසුපැදිකරු පළායෑමට උත්සාහ කර ඇති අතර ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී එම යතුරුපැදියේ අංක තහඩුව තිබී ඇත. ඒ අනුව අවුරුදු 20ක හා 22ක අංගොඩ හා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. බුත්ගමුව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම සිදුවීමට සම්බන්ධ නොමැති පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක් විරෝධය පළ කර ඇති අතර ඔවුන් බැන වදිමින් රාජකාරියට ඉඩ නොදීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 26ක හා 27ක වැල්ලම්පිටිය හා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අද (28) දින අලුත්කඩේ මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW