තිදෙනෙක් නොයන ගමන් යැවූ ගමක් සලිත කළ හොර අරක්කු. - (VIDEO)

Sri Lanka Police Death
By Wayomi Apr 29, 2024 12:11 PM GMT
Report

කළුතර - වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පිරිස නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවත් ඉන් පසුව රෝගාතුරවී එලෙස මියගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එලෙස මියගොස් ඇත්තේ කරන්නාගොඩ හා ඒ අවට පදිංචිවය සිටි වයස අවුරුදු 68ත් 43ත් අතර පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ.

මෙම තිදෙනාම පෙරේදා (27) රාත්‍රියේ නිතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පවසන අතර ඉන් එක් පුද්ගලයෙක් ඊයේ උදෑසන නිවසේදීම මියගොස් තිබෙනවා.

තවත් අයෙක් රෝගාතුරු වීමත් සමඟ පෞද්ගලික ස්ථානයකින් ඖෂධ ලබාගෙන තිබූ අතර ඔහු නැවතත් රෝගී වීම හේතුවෙන් රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

අනෙක් පුද්ගලයා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මොවුන් තිදෙනාටම ඇස් නොපෙනී යාම, වමනය වැනි රෝග ලක්ෂණ හටගෙන තිබෙනවා.

මේ අතර එම ප්‍රදේශයේම තවත් සිව්දෙනකු කළුබෝවිල, හොරණ සහ ජයවර්ධනපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වරකාගොඩ පොලීසිය වීශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් විකුණන බවට ගම්වාසීන්ගේ තොරතුරු මත පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබෙනවා.

ඔහු තොටුපොල පාර, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකු හෘදයාබාධ ඇතිවී මියගොස් ඇති බවටත් අනිත් පුද්ගලයාගේ මරණය විවෘත තීන්දුවක් ලෙසත් හොරණ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන බව පොලීසිය පවසනවා.

ඒ, අනුව මෙම සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.