යකදුරාට බැණවැදුණු කාන්තාව රවටා ගෙන්වාගෙන ඝාතනය කළ හැටි. - (VIDEO)

Sri Lanka Police Crime Murder
By Wayomi May 19, 2024 04:49 AM GMT
Report

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය පුවතක් වාර්තා වෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, චන්ද්‍රිකා පෙරේරා නමැති ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවක්.

යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර තම පවුලට හිස එසවිය නොහැකි වන තරමටම කිසිවකු සිය පවුලට හූනියමක් සිදුකර ඇතැයි යන විශ්වාසයේ එල්බ තිබුණි.

පොලිස් නිලධාරීන් පිරිසක් හිටපු පොලිස් සැරයන්වරයෙකුට අමානුෂික ලෙස පහරදෙයි.

පොලිස් නිලධාරීන් පිරිසක් හිටපු පොලිස් සැරයන්වරයෙකුට අමානුෂික ලෙස පහරදෙයි.


ඒ, අනුව ඇය පසුගිය කාලය පුරාම කිරිඇල්ල ප්‍රදේශයේ යකදුරෙකු හමුවට ගියේ එකී හූනියම ඉවත් කර ආරක්ෂාවක් කර ගැනීම සඳහායි.

අනතුරුව රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය එම හූනියමක් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී යකදුරා විසින් ඇයට රන් සුරයක් ද පළඳවා ඇත.

මේ අතර එම කාන්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා උදෑසන නිවසෙන් පිටව ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ඇගේ පුතු විසින් ඇහැලියගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුනා.

ඒ අනුව විමර්ශන ඇරැඹූ ඇහැළියගොඩ පොලීසිය චන්ද්‍රිකාගේ ජංගම දුරකථන අංකය ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන ඇති අතර එහිදී සුවිශේෂි දුරකථන අංකයක් නිරීක්ෂණය වූ අතර, අප්‍රේල් 24 වනදා උදෑසන ඇයගේ දුරකථනයට අදාළ අංකයෙන් ඇමතුම් ගණනාවක් ලැබී ඇති බවයි.

එමෙන්ම ඇය ද එම අංකයට ඇමතුම් ලබාගෙන තිබූ බවට පොලීසියට නිරීක්ෂණය වී ඇත.

එම දුරකථන අංකයේ හිමිකරු කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව සොයාගත් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ, එම පුද්ගලයා රන් සුරයක් රන් භාණ්ඩ මිලදීගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි.

පොලීසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ සුරය අතුරුදන් කාන්තාවගේ බවත්, ඔහු අදාළ කාන්තාව කිරිඇල්ලට ගෙන්වාගෙන ඝාතනය කළ බවත්, තමා යකදුරාගේ ගෝලයකු බවත්ය.

සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ, හූනියම ඉවත් කර ගැනීමට කාන්තාවට දැමූ සුරයෙන් පළක් නොවූ බවට අවස්ථා කිහිපයකදී අදාළ යකදුරාට දුරකථනය මගින් කතා කර බැණ වැදුණු බවයි.

ඒ අනුව සැකකරු අදාළ කාන්තාවට පවසා ඇත්තේ "ගුරුන්නාන්සේ කොඩිවිනය ශක්තිමත් කරලා ආපහු සුරයක් හදලා දෙන්නම් කිව්වා... කිරිඇල්ලට එන" ලෙසයි.

අනතුරුව එම කාන්තාව අප්‍රේල් 24 වනදා උදෑසනම ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණ ඇති අතර යකදුරා එහිදී සිය ගෝලයාට පවසා ඇත්තේ, ‘‘මේ ගෑනිගෙන් හරි කරදරයක් තියෙන්නේ, මොනව හරි කරපං’’ යනුවෙනි.

අනතුරුව, අදාළ පුද්ගලයා විසින් කෙටි මාර්ගයක් ඇති බව කාන්තාවට පවසා කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් ඝාතනය කර ඇති අතර ගෙල සිරකර ඇය ඝාතනය කළ පසු ඔහු ඇය පැළැඳ සිටි රන් සුරය ද රැගෙන, මළසිරුර කැලයේම අතු ගොඩක් යට සඟවා පළාගොස් තිබෙනවා.

පසුව පොලීසිය පසුගියදා අදාළ ස්ථානයේ තිබී මළසිරුර සොයාගත් අතර ඒ වන විටත් සතුන් හානි කිරීම මළසිරුර දැඩි ලෙස විනාශ වී තිබුනා.

ඇයගේ පුත්‍රයා විසින් මළසිරුර හඳුනාගැනීම ද මෙහිදී සිදුකෙරුණු අතර අනතුරුව පොලීසිය විසින් අදාළ යකදුරාව ද අත්අඩංගුවට ගැනුනා.