කතරගම රත් කළ රන් තැටිය - නැති වුණ එක කියලා තවත් එකක් ඇවිත්.. රන් තැටියේ හුටපටය කතරගමම කළඹයි.. තොරතුරු රැසක් එළියට එයි..
අතුරුදන්ව සිටි ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක මහතා වන ප්‍රධාන කපු මහතා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට ඊයේ (27) පෙරවරු 7.30ට පමණ භාර වීය.
අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවට පසුගිය 23 වැනිදා කතරගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් විසින් ඔහු සොයා විමර්ශන සිදු කෙරිණ.
එහිදී කතරගම දේවාලයට පූජා කරන රත්‍රං කපු මහතුන්ට අයිති බවත් එබැවින් එයට ලැබුණු රන් තැටිය තමා රැගෙන ගිය බවත් සොමිපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට පවසා ඇති බව වාර්තා විය.
සැකකාර කපු මහතාගෙන් අත්අඩංගුවට ගෙන පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සැකකාර කපු මහතාව තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමය අධිකරණය නියෝග කර තිබෙනවා.
මීට කලකට පෙර ඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පවුම් 38ක බරින් යුත් රන් තැටියක් පූජා කර ඇත්තේ ඉන්දියාවේ සැඟව සිටිය දී මියගිය පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ය.
ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුගේ අපලයකට ප්‍රතිකර්මයක් සඳහා බව පවසමින් ය.
එම පූජා කළ අදාළ රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.
ඒ 2021 ඔක්තෝබර් මාසයේ දී ය.
ඒ අතුරතුර දේවාලයේ ගබඩා භාරකරු වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා පවුම් 25ක් පමණ බරැති වෙනත් රන් තැටියක් දේවාලයට භාර දී ඇති බව වාර්තා විය.
ඒ අස්ථානගත වූ රන් තැටිය බව පවසමින් ය.
ඒ අනුව කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී.රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබෙනවා.
ඒ සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකෙරෙන පසුබිමක ය.
ඒ අනුව විමර්ශන කණ්ඩායමක් විසින් දෙසැම්බර් 12 වැනිදා අදාළ කපු මහතුන් දෙදෙනාගේම නිවෙස් පරීක්ෂා කර ඇත.
නමුත් එහිදී ඔවුන් එම නිවෙස් වල නොසිටි බව වාර්තා වූ අතර සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා දෙසැම්බර් 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදා හැර තිබෙනවා.
නමුත් කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන 85 හැවිරිදි සොමිපාල ටී. රත්නායකව සොයාගැනීමට පොලිසියට නොහැකි වී ඇත.
පසුගිය 23 වනදා ඒ මහතාගේ දියණියත් විසින් කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ සිය පියා අතුරුදන්ව ඇති බව පවසමින් ය.
මේ අතර කතරගම දේවාලයේ කපු මහත්වරුන් සඳහන් කරන්නේ බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර සියයට පනහකින් පමණ අඩුවී ඇති බවයි.
එමෙන්ම, දේවලය අසල ස්ථාපිත කර ඇති මහරගම පිළිකා රෝහලට ආධාර ලබා ගැනීමට පිහිටුවා ඇති කාර්යාලයට ලැබෙන ආධාර ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව දෙසැම්බර් 15 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළ පමණක් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ආධාර ලෙස එයට ලැබී ඇති බව වාර්තා වේ.