TIN අංකය ගැන මතු වූ අලුත්ම හෙළිදරව්ව නිසා ජනපති නියමයෙන් නව සංශෝදනයක්.

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Jan 11, 2024 12:28 PM GMT
Report

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (10) උපදෙස් දී තිබෙනවා.

ඒ, වයස අවුරුදු දහඅට සම්පූර්ණ කළ සියලු දෙනාට බදු අංකයක් ( TIN අංකය ) ලබා ගැනීමට අදාළවයි.

බදු අංකයක් ලබා ගැනීමට අදාළව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ 2334/21 දරන ගැසට් නිවේදනය නීත්‍යනුකූල නොවන බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී වළේබොඩ පාර්ලිමේන්තුවේ දී ඊයේ පෙන්වා දීමෙන් පසුව ජනපතිවරයා විසින් මෙලෙස උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ අංක 24/2017 දරන දේශීය ආදායම් පනත අනුව බදු අංකයක් ලබා ගැනීමට සලකා බැලිය යුත්තේ වයස නොව ආදායම බවයි.

TIN අංකය ගැන මතු වූ අලුත්ම හෙළිදරව්ව නිසා ජනපති නියමයෙන් නව සංශෝදනයක්. | The Inland Revenue Act Will Be Renewed

ඒ අනුව බදු අංකයක් ලබා ගත හැක්කේ රුපියල් ලක්ෂ දොළහක වාර්ෂික ආදායමක් ලබන තැනැත්තන්ට විනා වයස සම්පූර්ණ කළ තැනැත්තන්ට නොවන බවත් ඔහු අවධාරණය කළා.

එලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, බදු අය කිරීමේ සාධක වෙනස් කිරීමට මුදල් ඇමැතිවරයාට බලය පවරා නොමැති එහෙයින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අධිකරණයේ දී අභියෝගයට ලක් කළොත් එය අවලංගු වනවා පමණක් නොව දැනට ලබා ගෙන ඇති බදු අංක ද අවලංගු වන බවයි.

මන්ත්‍රිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව අදහස් දැක් වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ ඒ සඳහා පනතින් මුදල් ඇමැතිවරයාට බලය ලබා දී තිබෙන බවයි.

අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයට ඊයේ පැමිණ සිටි ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා කැඳවා විමසා ඇති අතර පවතින තත්ත්වය මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ, අනුව එම පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.   


                                                                                     Sponsored By Sarrita Jewellery

TIN අංකය ගැන මතු වූ අලුත්ම හෙළිදරව්ව නිසා ජනපති නියමයෙන් නව සංශෝදනයක්. | The Inland Revenue Act Will Be Renewed