වැටුප් වැඩි කිරීමක් සම්බන්ධව කැබිනට් මණ්ඩලයෙන් හදිසි දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Cabinet
By Aruna Mar 05, 2024 03:01 AM GMT
Report

වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .

අදාළ වැටුප් වැඩිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබුණා.

එහිදී අදාළ වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ මෙන්ම මෙරට විශාල පිරිසකගේ දැඩි විරෝධය එල්ල වී ඇත.

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ද අදාළ වැටුල් වැඩිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කර ඇති අතර එහිදී මහබැංකු නිලධාරීන් ලබාදුන් පිළිතුරු පිළිබඳව අමාත්‍යවරුන් සිය අප්‍රසාදය පළකර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම තමාව ද දැනුවත් නොකර සිදුකර ඇති බවට එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ද අදාළ සිදුවීමට සිය විරෝධය පළකර තිබීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් මහ බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ, අදාළ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නොමැති බැවින් රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහබැංකුවේ ප්‍රධානීන් අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පෙරවරු 10.30ට පක්ෂ නායක රැස්වීම කැඳවීමට නියමිතව ඇත. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මහ බැංකු නිලධාරීන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, අදාළ කාරක සභාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවයි.