දමිළ සිනමාවේ ‘තිර රචනා රජු’ කේ. භාග්‍යරාජ් දිවි ගමන නිම කරයි
ප්‍රවීණ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂ, නළු සහ තිර රචක කේ. භාග්‍යරාජ් අද (27) හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 73 වැනි වියේ පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෑතකදී ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ භාරතිරාජාගේ අභාවයෙන් කම්පාවට පත්ව සිටි දමිළ සිනමා ක්ෂේත්‍රයට, භාග්‍යරාජ්ගේ හදිසි වියෝව තවත් දැඩි ශෝකයක් ගෙනවිත් තිබේ.
සිහිසුන් තත්ත්වයෙන් චෙන්නායි ඇපලෝ රෝහල වෙත රැගෙන ගිය ඔහු එහිදී මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.
1953 ජනවාරි 7 වැනිදා ක්‍රිෂ්ණස්වාමි භාග්‍යරාජ් ලෙස උපත ලැබූ ඔහු, ප්‍රථමයෙන් භාරතිරාජාගේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසියේය. 1977 වසරේ 16 Vayathinile චිත්‍රපටයේ කුඩා චරිතයක් හරහා තිරයට පැමිණි ඔහු, වසර කිහිපයකින්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ස්ථාපිත විය.
දශක පහකට ආසන්න කාලයක් පුරා අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු, තිර රචකයෙකු, නිෂ්පාදකයෙකු සහ ලේඛකයෙකු ලෙස කටයුතු කළ භාග්‍යරාජ්, සරල නමුත් ආකර්ෂණීය කතා රටා, හාස්‍යය සහ සමාජීය පණිවිඩ ඒකාබද්ධ කළ නිර්මාණ වෙනුවෙන් දමිළ සිනමාවේ "තිර රචනා රජු" ලෙස ප්‍රකට විය.
ඔහුගේ Oru Kai Osai, Andha 7 Naatkal, Mundhanai Mudichu, Chinna Veedu, Darling Darling Darling සහ Sundara Kandam ඇතුළු චිත්‍රපට දමිළ සිනමාවේ සම්භාව්‍ය නිර්මාණ ලෙස සැලකේ. විශේෂයෙන් Mundhanai Mudichu චිත්‍රපටය වෙනුවෙන් ඔහුට හොඳම නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය ද හිමිවිය.
භාග්‍යරාජ්ගේ වියෝවත් සමඟ දමිළ සිනමාවට අසමසම තිර රචකයෙකු සහ බහුකාර්ය සිනමාකරුවෙකු අහිමි වූ බව සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා සඳහන් කරමින් ඔහුට ගෞරව පුද කරති.