මංගල තරගය ශ්‍රී ලංකාවට හිමි වන - මාස 3ක් තිබියදී ලෝක කුසලානයට ඉදිවන සුපිරි ක්‍රිකට් පිටිය. - (VIDEO)
ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක තරගාවලිය ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
මෙවර විස්සයි විස්ස ලෝක තරගාවලියට තවත් මාස 03ක් ඉතිරිව තිබියදී ලෝකෙම මවිත කරවමින් අභියෝගය භාරගත් අමෙරිකාව තරගාවලිය වෙනුවෙන් සුපිරි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇත.
එලෙස ඉදිවන Nassau County International Cricket Stadium එහෙමත් නැත්නම් නිව්යෝක් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තවමත් තණකොළ ගහක්වත් නැතිවීම විශේෂත්වයක්.
34,000කට එකවර තරගය නැරඹිය හැකි පහසුකම් සහිතව ඉදිවන මෙම ක්‍රීඩාංගණයේ මාසයක ප්‍රගතිය මුල්වරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ මුල්වරට එළිදැක්වනු ලැබුවා.
ලෝක කුසලාන තරගාවලිය සඳහාම ඉදිවන මෙම ක්‍රීඩාංගණය වෙත ලෝකයේම අවධානය යොමුවූ තවත් හේතුවක් වන්නේ ක්‍රිකට් ලෝකයේ ආන්දෝලනාත්මක තරගයක් වන ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය ද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබීමයි.
එමෙන්ම මූලික වටයේ තරගවලදී ඉන්දීය කණ්ඩායම තරගවදින තරග ත්‍රිත්වයක්ම මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීම තවත් සුවිශේෂී කරුණක් වන අතර පාකිස්තානයට අමතරව සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔවුන් මෙම තරගයේදී ක්‍රීඩා කරනු ඇත.
මේ අතර ශ්‍රී ලංකාවටද 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාම ඉදිවන මෙම නව ක්‍රීඩාංගණය හා සුවිශේෂී මතකයක් එක්වනු ඇති අතර ඒ මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමයි.