සීනී කෑවම මෙහෙම වෙනවා කියලා දැනන් හිටියද..ඇග හිරිවැටෙන කතාව - ආදරේට ටොෆි චොක්ලට් දෙන අම්මලා තාත්තලාගේ අවධානය පිණිසයි..!

Cancer Diabetes Sugar
By Sewvandhi Feb 11, 2024 04:49 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

සෑම වර්ෂයක දී ම පියයුරු පිළිකා රෝගයෙන් පමණක් දෙදහසක් පමණ මිය යනවා... ලංකාවේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ග්‍රෑම් 100කට වඩා අනුභව කරයි. දිනකට අනුභව කළ හැකි උපරිම සීනි ප්‍රමාණය ග්‍රෑම් 50ක්.. හතර වරිගෙ කාටවත් පිළිකා රෝගය නො වැලඳුණු නිවසකින් අබ අහුරක් ගෙන එන්නැයි ලංකාවේ කාට හෝ පැවසුවහොත් එය නො අනුමානව අසීරු කාරණාවක් වනු ඇතියි...

කෙනෙකු වෛද්‍යවරයෙකුගෙන් අසන්නට අකමැති ම, අමිහිරි ම වචන දෙකක් අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් අසමින් සිටියි... හැත්තෑවේ දශකයේ පටන්, තරුණ වියේ උදවිය හා ළමුන් හැට ගුණයකින් පමණ මෙම රෝගයට බිලි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවලට අනුව පැහැදිලි වෙනවා.. සංවර්ධිත රටවල අද්භූත ආකාරයෙන් පැතිරෙමින් පවතින පිළිකා වසංගතයෙන් අපේ රටට ද ගැලවීමක් නො මැති බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛණවලින් හෙළි වේ.

අඩු වයසේ කාන්තාවන් පියයුරු පිළිකා රෝගයටත්, කිසිදා දුම් පානය හෝ මත්ද්‍රව්‍යය භාවිත නො කළ, නිරෝගී යැයි පෙනෙන තරුණයින් පිළිකා රෝගයට ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබෙනවා.. කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, මත් ද්‍රව්‍යය භාවිතය, වස විස සහිත ආහාර, පරිසර දූෂණය, ව්‍යායාම අඩුකම, මානසික පීඩනය වැනි හේතු පිළිකා සඳහා හේතු වන බව, කේක්, බිස්කට් කමින්, සුදු සීනි යහමින් දැමූ කිරි තේ බොමින් සාකච්ඡා කරන සම්මන්ත්‍රණ මේ මොහොතේත් ලෝකය පුරාම පැවැත්වෙනවා නිසැකය.

එහෙත් සීනි, පිළිකා රෝගය සඳහා ප්‍රබල වශයෙන් බලපාන බව ඒ බොහෝ දෙනෙකු නො දන්නවා ඇත. නො තකනවා ඇත. අප බොහෝ දෙනෙකු සීනි නිසාවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුව, අධික කොලෙස්ටරෝල්, වකුගඩු ආබාධ වැනි රෝගාබාධ පිළිබඳ ව දැන සිටියත් සීනි සහ පිළිකාව අතර ඇති සම්බන්ධය පිළිබඳ ව ලොව පුරා ම ප්‍රමාණවත් පරිදි සාකච්ඡා කෙරී නැත. නො එසේ නම් දෙස් විදෙස් ආහාර කර්මාන්තකරුවන්ගේ ඊනියා වෙළඳ සාමය වෙනුවෙන් අමතක කරවා, යටගසා ඇත.

සීනි සහ පිළිකා රෝගය අතර සම්බන්ධය සොයා ගෙන ඇත්තේ අද ඊයේක නො ව, වර්ෂ 1931 දී තරම් ඈත කාලයේ දී ය. මෙම සොයා ගැනීම සිදු කළ ජර්මානු ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ඔටෝ හෙන්රිච් වෝබ්මාන් හට 1931 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොඛෙල් තෑග්ගද පිරි නැමී ඇත. උග්‍ර වර්ධකවල (Tumers) පරිවෘත්තිය බොහෝ දුරට රඳා පවතින්නේ ග්ලූකෝස් පරිභෝජනය මත බව ඔහු පෙන්වා දී ඇත.

පිළිකා රෝගීන් හට, පිෂ්ඨය සහිත ආහාර ගැනීමට වැඩි රුචිකත්වයක් ඇති වීම ස්වාභාවික බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කෙනෙකුගේ ශරීරයේ කොතැනක හෝ පිළිකාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා කෙරෙන පෙට් (PET SCAN) යන්ත්‍රය මගින් මනිනු ලබන්නේ, වැඩිපුර ම ග්ලූකෝස් ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන ස්ථානයන් ය. එසේ ශරීරයේ යම් තැනක සෛල, සීනි පරිභෝජනය අධිකව සිදු කරන්නේ නම් එයට හේතුව පිළිකාවක් විය හැකි ය.

සීනි කෑමෙන් පිළිකා හැදෙන්නේ මෙහෙමයි

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඩේවිඞ් ශ්‍රීබර් මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ මෙහෙමයි. කෙනෙකු සුදු සීනි හෝ සුදු තිරිගු පිටි සහිත ආහාර වැඩිපුර අනුභව කරන විට, රුධිරයේ ග්ලූකෝස් මට්ටම වේගයෙන් ඉහළ නගී. මෙම ග්ලූකෝස් යාමනය කිරීම සඳහා ඉන්සියුලීන් හෝමෝනය වැඩි වැඩියෙන් ශ්‍රාවය කරයි.

මෙම ඉන්සියුලීන් ශ්‍රාවයත් සමග, අයි. ජී. එස්. (Insulin Growth Factor) නමැති තවත් අනු වර්ගයක් නිකුත් වේ. එහි කාර්යභාරය වන්නේ, ෙසෙල වර්ධනය උත්තේජනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සීනි මගින් ෙසෙල පෝෂණය වී ඒවා වේගයෙන් වර්ධනය වීමයි. මෙම තත්ත්වය ප්‍රදාහය වැඩි වී, වර්ධන (Tumers ) වර්ධනය වීමට සරු කෙතක් ඇති කරවන තත්ත්වයකි.”

ඇමරිකානුවන් අතර සීනි සහ සුදු පාන් පිටි ආහාර පරිභෝජනය ඉතාමත් ඉහළය. සෑම ඇමරිකානු පුරවැසියන්ගෙන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු ම ස්ථුලභාවයෙන් පෙළෙන අතර, ඇමරිකානුවන් අතර, දියවැඩියා රෝගීන්ගේ ගණන ඉතා ඉහළ අගයක් ගනී. එමෙන් ම සෑම ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම මිය යන්නේ ද පිළිකා රෝගයෙනි.

මීයන් ආශ්‍රිත ව කර ඇති පර්යේෂණයකට අනුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අවස්ථාවල දී ප්‍රතිපිළිකා ඖෂධ මගින් පිළිකා ෙසෙල විනාශ කිරීම අසීරු බව සොයා ගෙන ඇත. විවිධ සීනි මට්ටම් සහිත ආහාර, පිළිකා වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ ව කර ඇති පර්යේෂණ බොහෝ ය. පිළිකා සෛල අඩංගු ද්‍රාවණයක් මීයන්ට එන්නත් කර මාස කිහිපයකට පසු කළ නිරීක්ෂණයන් පුදුම සහගත විය.

රුධිරයේ සීනි මට්ටම අධික වූ මීයන් සියයට 70ක් ම මිය ගොස් සිටි අතරල අඩු සීනි සහිත ආහාර අනුභව කළ මීයන්ගෙන් මිය ගොස් සිටියේ සියයට 05ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. තව ද රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අධික දියවැඩියා රෝගීන් හට පිළිකා රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව, තවත් පර්යේෂණයක දී සොයා ගෙන ඇත.

ජෛව රසායන විද්‍යාව පිළිබඳ කීර්තිමත් පර්යේෂකයෙකු මෙන්ම, මොන්ටි‍්‍රයල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද වන, රිචඞ් ඛෙලිවෝ’ මහතා වරක් මෙසේ ප්‍රකාශ කර ඇත. පිළිකා වර්ධනයට උපරිම වශයෙන් දායක වන ආහාරයක් සැලසුම් කිරීමට කිසිවෙකු මට පැවසූවොත්, මා නිර්දේශ කරන්නේ අප පරිභෝජනය කරන සීනි, සුදු තිරිගු පිටි සහ රසායනික ආකලනවලින් සමන්විත බටහිර පන්නයේ අපගේ ආහාරය යි.”

අධික සීනි සහ සුදු තිරිගු පිටි පරිභෝජනයක් සහිත යුරෝපීයයන්ට සාපේක්ෂව අඩු සීනි සහ සංකීර්ණ පිෂ්ඨය සහිත සාම්ප්‍රදායික ආහාර (කොස්, දෙල්, කුරක්කන්, රතු කැකුළු සහල් වැනි) වැඩියෙන් පරිභෝජනය කරන ආසියාතිකයින් අතර, පිළිකා රෝගීන් විරල වීමට, හේතු පැහැදිලි කර ගැනීම සඳහා ආලෝකවත් මාර්ගයක් මේ අනුව අප හමුවේ ඇත.

තරබාරුව, සීනි සහ පිළිකා රෝගය තම සාම්ප්‍රදායික ආහාර වේලට ආයුබෝවන් කියූ, රටවල වසංගතයක් ලෙස පැතිර යන තවත් උවදුරක් නම්, තරබාරුකම ය. දුම්කොළ හැරුණු කොට පිළිකා කෙරෙහි බලපාන ප්‍රමුඛතම හේතුව, තරබාරුකම බව පිළිකා විශේෂඥයෝ පවසති. වයස අවුරුදු 18 දී තම ශරීර බරට වඩා කිලෝ ග්‍රෑම් 10කින් බර වැඩි වූ, මැදිවියේ කාන්තාවකට පියයුරු පිළිකාවක් වැළඳීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි බව මෑතක දී මහා බ්‍රිතාන්‍යයේ දී කළ පර්යේෂණයක දී හෙළි කරගෙන ඇත.

අපේ රටේ ද තරබාරුකම දැන් දැන් සුලභ තත්ත්වයක් වෙමින් ඇත. පාසල් දරුවන්ගෙන් සියයට 6ක් තරබාරුකමින් පෙළෙන අතර, මැදිවියේ පිරිමින් බොහෝ දෙනෙකුට කළ ගෙඩියක් සේ ඉදිරියට නෙරා ගිය උදරයක් තිබීම සහ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ උදර දෙපසින් ටයර් මතු වීම සුලභ තත්ත්වයක්ව ඇත. තරබාරුව සඳහා වෙනත් හේතූන් ඇතත්, අධික සුදු පාන් පිටි සහ සීනි පරිභෝජනය මේ සඳහා හේතු වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ආදරේට ටොෆි චොක්ලට් – අම්මලා තාත්තලාගේ අවධානය පිණිසයි

වෙළෙඳ පොළේ දකින දකින පැණි රස ආහාර වර්ග මහත් ආදරයෙන් තම දරුවන්ට කවන දෙමව්පියන්ගේ අවධානය සඳහා, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය, රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප්‍රකාශයක දැක්වෙන, සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප්‍රමාණයන් පහත පරිදි වේ. චොක්ලට් ග්‍රෑම් 50ක සීනි තේ හැඳි 07ක්, චොක්ලට් බිස්කට් 1 – සීනි තේ හැඳි 1-2ක්, කේක් කෑල්ලක් (සාමාන්‍ය ග්‍රෑම් 50ක) – සීනි තේ හැඳි 05ක්, කෝලා වර්ගයේ බීම වීදුරුවක – සීනි තේ හැඳි 05ක්, අයිස් ක්‍රීම් කප් එකක – සීනි තේ හැඳි 04ක්, ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි 02ක්, මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක – සීනි තේ හැඳි 2-3ක්, රස කළ කිරි පැකට් එකක – සීනි තේ හැඳි 2-3ක්, බිස්කට් (පැණි රස) එකක – සීනි තේ හැඳි 1/2ක්, සෝස් මේස හැදි එකක – සීනි තේ හැඳි 1ක් (මීට අමතර ව සුදු පාන් පෙති එකක් අනුභවයෙන් ක්ෂණික ව රුධිරයට සීනි තේ හැඳි 3ක් ලැඛෙන බවත්, දිනකට සීනි දැමූ තේ කෝප්ප 3ක් පානය කරන්නෙකු සීනි තේ හැඳි 6ක් අනුභව කරන බවත් අවධාරණය කළ යුතු ව ඇත.)

(උපුටාගැනීමක්)