ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

By R.rishma Aug 12, 2026 09:41 AM GMT
Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කර තිබේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයේ උපනායකත්වය කමිඳු මෙන්ඩිස්ට හිමිව ඇත.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර නොමැති අතර, ඔහු වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයෙන් පසුව දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොමැති අතර, වසර තුනකට පසුව ඔහු යළිත් ටෙස්ට් සංචිතයට එක්ව තිබේ.

මේ අතර, අවසන් වරට පැවති කොදෙව් තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙන්ම ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නොමැති නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුද සංචිතයට එක්කර ඇත.

ඒ අනුව, මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොමැති පිතිකරු පසිඳු සූරියබණ්ඩාර සහ තුන්ඉරියව් ක්‍රීඩක කේෂර නුවන්ත පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

ධනංජය ද සිල්වා – නායක, ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස් - උපනායක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල - කඩුලු රකින්නා, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කේෂර නුවන්ත, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දිල්ෂාන් මධුෂංක