බන්ධනාගාරයෙන් මැණිකක් මතුවෙයි.. නිලධාරියෙකුගේ වැඩත් තහනම් කෙරේ..

Sri Lanka
By Aruna Feb 07, 2023 03:23 AM GMT
Report

දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු සතුව තිබී මැණික් ගලක් සොයාගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ අදාළ රැදවියා එම මැණික් ගල සිය ඉනෙහි සඟවා ගෙන සිට තිබෙනවා.

ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති රැදවියෙක්.

එම රැදවියා මීට දින කිහිපයකට පෙර අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදාළ මැණික් ගල මේ වනවිට එම රැදවියා ඉදිරියේ මුද්‍රා කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී එහි නියමිත තක්සේරුව ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනුම් දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ.

මේ අතර සිය රාජකාරී හිස් වැසුමෙහි සගවා දුම්වැටි තුනක් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ බන්ධනාගාර සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නිලධාරියා සතුව තිබූ අත්විලංගුවකට අදාළ යතුරක් සොයා ගත් බවයි.

ඒ, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රාජකාරි කරමින් සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින්.

මූලික පරීක්‍ෂණයකට යටත්ව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now