විදුලි බිල අඩු කරීම ගැන විශේෂ හෙළිදරවිවක්..ජනතාවට යළිත් රතු එළියක්..

Parliament of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices Public Utilities Commission of Sri Lanka Kanchana Wijesekera
By Aruna Jan 09, 2024 08:13 AM GMT
Report

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මීට පෙර කළ ප්‍රකාශයන් අහෝසි කරමින් විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක් තමන්ට ලැබී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් පසු 2024 පෙබරවාරි මාසයට පෙර විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, විදුලි බිල අඩු කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ මහජන කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් PUCSL හි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ එවැනි කිසිදු යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් ආයතනයට ලැබී නොමැති බවයි.

2024 ජනවාරි 08 ඊයේ වන විටත් එවැනි ඉල්ලීමක් ලංවිමෙන් කර නොමැති බව ඔහු වැඩිදුරටත් සහතික විය.

කෙසේවෙතත් පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක් ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වන විට රුපියල් කෝටි අටදහසකට(8000) වඩා ලාභයක් වාර්තා කර තිබෙනවා.

මණ්ඩලය ලබන රුපියල් කෝටි 1800ක පාඩුව පියවා ගැනීමට යැයි කියමින් ඉකුත් වසරේ අගෝස්තු 09 වැනිදා තුන්වැනි වරටත් විදුලි ගාස්තුව ඉහළ දමනු ලැබුවා.

ඉංජිනේරුවෝ පවසන්නේ, එම ගාස්තු ඉහළ දැමීමෙන් පසුව දිගින් දිගටම වැසි ලැබීම නිසා ජල විදුලිය වැඩිපුර නිපදවා ගැනීමට හැකිවීමත්, සියයට එකසිය හතළිස් හතක පමණ අති විශාල ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමීමත් නිසා මණ්ඩලය මේසා විශාල ලාභයක් ලැබූ බවයි.

මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට විදුලි බිල් ගෙවා දැමීමට නොහැකිවීමත්, මාසයක් ගෙවුණු පසු රතු බිල් නිකුත් කිරීමත් නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට අසූවකට ම රතුබිල් ලැබෙන බවත් ඔවුහු පවසයි.

මෙතරම් ලාභයක් ලබද්දිත් විදුලි පාරිභෝගිකයින්ගෙන් මාසිකව දැඩි පීඩාකාරී ලෙස විදුලි බිල් අය කරමින් කටයුතු කරන්නේ කාගේ අවශ්‍යතාවයකට ද?

මහජන උපයෝගීතා කොමිසම මේ සම්බන්ධයෙන් බීරි අලින්ට වීනා වයන්නා සේ ඇස්කන් නෑසුනා සේ සිටීමත්, විදුලි බල මණ්ඩලය ජනතාව ගැන සානුකම්පිත නොවීමත් කණගාටුවට කරුණකි.

මේ කියන කාරණා ගැන විදුලි බල අමාත්‍යවරයා නිහඬව සිටිමින් ජනතාවගේ දුක නොදැනෙන්නේ නම් ඔබට ද ඉදිරි මැතිවරණයේදී ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇති.

එබැවින්, විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි අටදහසකට(8000) වඩා ලාභයක් වාර්තා කරමින් සිටිද්දීත්, මේදින වල ජල විදුලි බලයෙන් 75%කට වැඩි විදුලි බල ධාරිතාවක් නිෂ්පාදනය කරමින් රටේ ජාතික විදුලි බල නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදීත්, විදුලි බිල අඩු කරන්නට මාස ගණන් කල් ගනිමින් කටයුතු කරන ඉහළ නිළධාරින් ගැන මහ ජනතාවට ඇත්තේ කළකිරීමකි.

ජනතාවගේ දහඩිය මහන්සිය විදුලි බිලෙන් සූරා කමින් කටයුතු කරන ඉහළ පුටුවල සිටින උදවිය මොහොතක් සිතන්න.

තමන්ද දරුපවුල් රකින්නේ ජනතාව ගෙවන බදු මුදලින් බව.

නමුත්,ඉහළ වැටුප් ලබන මැති ඇමතිවරුන් විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් තවමත් තමන්ගේ බඩ වඩා ගැනීමට කටයුතු කිරීම නම් නවතා නැත.

ජනතාවට හෙන වැදුන් ඔවුන්ගේ පඩි වැඩි කරන්නට විරෝධතා කරන උදවියටත් මේ ජනතාවගේ දුක නොතේරෙන්නේ ඔවුන්ද කරන්නේ විවිධ දේශපාලන පක්ෂ වල කොන්ත්‍රාත් බව හදවතට කතා කරමින් සිතන්නට කාලයයි.

එම නිසා විදුලි බිල අඩු කරන්නට කඩිනමින් කටයුතු නොකර විවිධ පාර්ශව වලට බෝලය පාස්කරමින් තව තවත් ප්‍රමාද කරන්නට තටමන්නේ ඇයි දැයි ගගන ප්‍රවෘත්ති අංශයේ අපට ද ප්‍රශ්නාර්ථයකි?.

Sponsored By Sarrita Jewellery