SIගේ මරණය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් එළියට එයි - මෘත දේහය වැටී තිබූ හැටි..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 13, 2024 09:07 AM GMT
Report

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.

ඊයේ (12) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ,අගතියට පත් එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී පසුගිය දෙසැම්බර් 8 වනදා රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි.

එහි දී අදාළ මරණය ගැන මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සඳහන් කළේ.

ගිනි අවි රැගත් ජීප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ දී එම ජීප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ආදාළ මරණය සිදු වී තිබේ.

නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ, එම ජීප් රථය පැමිණීමෙන් පසු ව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා නොකරන්නැයි නියෝගයක් ඇති බවත් දැනුම් දුන්නේ යැයි මිය ගිය නිලධාරියා ඔහුගේ බිරිඳට පවසා ඇති බවයි.

එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇතැයි මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමුකර විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම සිද්ධිය මුල්කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට සහ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් අදාළ දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පොලිස් නිලධාරියා රාජකාරී නිමකර විවේකය වාර්තා කර සිටිය දී දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බව පැවසුව ද මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානයට මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරය අනුවත් සැක මතු වන බවට ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.

විමර්ශනවල ප්‍රගතිය හා වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා නඩුව කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

Sponsored By Sarrita Jewellery

SIගේ මරණය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් එළියට එයි - මෘත දේහය වැටී තිබූ හැටි.. | Si Who Fied Colombo Highway Killed Him Self