හෙට ආරක්ෂාවත් තර වෙයි - මාර්ග කිහිපයක්ම වැසෙයි.. කොළඹට එන සියලු දෙනාටම විශේෂ දැනුම්දීමක් මෙන්න.
හෙට (24) දිනයේ විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගයි.
ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එමෙන්ම, හෙට (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි.
එහිදී මාර්ගය දෙපසටම වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවේ.
එමෙන්ම, අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබීමට කටයුතු කෙරයි.
මේ අතර, පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙයි.
පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපති කාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇත.
නැවත රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙයි.
එමෙන්ම, රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසීය.
තව ද, හෙට උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙයි.
කෙසේ වෙතත්, දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන අතර මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවනු ලබයි.