පාසල් දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක තීරණයක් ගනී..

Ministry of Education Sri Lanka
By Aruna Feb 01, 2023 10:54 PM GMT
Report

නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි ආර්ථික අපහසුතා සහිත පවුල්වල පළමු ශ්‍රේණිය සඳහා ඇතුලත්වන දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබෙනවා.

නාගරික අඩුපහසුකම් සහිත ජනාවාසයන්හි ජීවත්වන ජනතාව ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපන වශයෙන් නගා සිටුවීම එහි අරමුණයි.

රුපියල් 5,000 ක් වටිනා පාසල් උපකරණ කට්ටල 100 ක් අදියර දෙකක් යටතේ මෙම වසරේදී ලබා දීමට සැලසුම් කර තිබේ.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මෙම වැඩසටහන ක්‍රියාවට නංවන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි.

පළමු අදියර යටතේ බොරැල්ල, සහස්පුර සහ සිංහපුර නිවාස ව්‍යාපෘතිවල ජීවත්වන පාසල් දරු දැරියන් 31 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහස්පුර ප්‍රජා ශාලවේදී සිදු කෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා කියා සිටියේ එම ජනතාවගේ භෞතික හා මානව සංවර්ධනය උදෙසා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවයි.

රටේ පවතින ආර්ථික අර්බුදය නිසා පාසල් උපකරණවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අඩු පහසුකම් සහිත ජනතාව විශාල පීඩාවකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට යම් හෝ සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now