රුසියාවෙන් උදව් ලබාගත හැකි ආකාරය ගැන තානාපති කියයි

United Russia Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jun 21, 2022 04:08 PM GMT
Report

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකි වනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති යූරි මැටරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 

 බංකොලොත් වූ රටකට ආර්ථික වශයෙන් උදව් කිරීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ දැනට ඇති වාතාවරණයේ පවතින මානුෂවාදී තත්වය අනුව උදව් කිරීමට රුසියානු රජය නොපැකිලෙනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන පක්‍ෂ එකමුතුවේ නායකයන් අද (21) රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මේ අවස්ථාවේ රටට තදින් බලපාන ඉන්ධන, ගෑස්, පොහොර අවශ්‍යතාව රුසියානු සමූහාණ්ඩුවෙන් ලබාගැනීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා තම කණ්ඩායම රුසියානු තානාපතිවරයා හමුවූ බව ද හෙතෙම කීවේය.

එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ ප්‍රසන්න නොවන වාතාවරණයක් ඇතිවූ බවත්, එරට සංචාරකයන් දැනටත් වෙනත් ගුවන් සේවා හරහා ශ්‍රී ලංකාවට පැමිණියත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව තානාපතිවරයා පැවසූ බවත් වීරවංශ මහතා කීවේය.

එමෙන්ම රජය නියෝජනය කරන ශක්තිමත් බලවත් කණ්ඩායමක් තම යෝජනා අතැතිව මොස්කව් බලා ගොස් ඉන්දියාව කළා වැනි සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රුසියාවෙන් අපටආරක්‍ෂක උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ණය ආධාර සම්පූර්ණයෙන් භාවිතා කර නැති අතර, එහි අඩකට වැඩි කොටසක් ඉතිරි නිසා ප්‍රමාණය හෝ වත්මන් අවශ්‍යතා වෙනුවෙන් යොදවන්න බැරිදැයි කළ විමසීමේදී එම ඉල්ලීම ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉදිරිපත් විය යුතු බව තානාපතිවරයා පැවසූ බව ද හෙතෙම පැවසීය.

එබැවින් වහාම මෙම පියවර ගැනීමට රජය ක්‍රියා කළ යුතු මන්ත්‍රීවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී වීරසිංහ, උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.ඒ.එම් අpolitතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now