රුසියානු ගුවන්යානය මෙරට රඳවා ගත්තේ ඇයි..? මෙය ලංකාවට බලපෑම් කරයිද..? රැසියාව මොකද කියන්නේ.. අමාත්‍ය නිමල් සිරිපාලගෙන් විශේෂ පැහැදිලි කිරීමක්
රුසියානු එරොෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධ ගැටලුවේ දී රජය පාර්ශවයෙන් කිසිදු වරදක් සිදුව නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, එළැඹෙන සඳුදා දින නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවය.
"මේ නියෝගය පිළිබඳව අපේ ගුවන්ගමන් පාලකවරයා දැනුවත් කරන්න කියලා තියෙනවා මේ නියෝගය දුරකථනයෙන් වහාම ගුවන් ගමන් පාලකවරයාට දන්වන්න කියලා රේජිස්ට්‍රාර්ට නඩුකාරවරයා නියෝගයක් දිලා තියෙනවා. රේජිස්ට්‍රාර්වරයා දුරකථන ඇමතුම් 4 - 5කින් දැනුම්දීලා තිබුණා මේ ගුවන් යානයට යන්න දෙන්න එපා කියලා මෙහෙම නියෝගයක් තියෙනවා කියලා. ගුවන් ගමන් පාලකතුමාව දැනුවත් කළා.
ඊට පස්සේ නීතිඥයෙක් පිස්කල් නිලධාරියෙක් එක්ක ඇවිල්ල ඇතුළුවෙලා ගුවන් පාලක මැදිරියට. ලබාදීලා තියෙනවා එයාට. ඇත්තෙන්ම මේ ගුවන් යානය යාමට ඉඩදිය හැකිද? නැද්ද පිළිබඳව අපිව මේ පාර්ශවයක් කරපු එක හරිද ? අපේ වගකීම මොකක්ද කියන කාරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්නට අපේ නීතිඥවරු උසාවියට ගියා. මොකද මෙවැනි දෙයක් ගුවන් පාලක නෙමෙයි බලය තියෙන්නේ ගුවන්යානාවක් නතර කරනඑක හරි යවන එනහරි ඒ බලය තියෙන්නේ නීතියෙන් සිවිල් ගුවන්සේවා අධිකාරියට ඒ නිසා අපි උසාවියට මේ කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වුවායින් පසු මෙහෙම නියෝගයක් දුන්නා නඩුකාරතුමා.
නිකුත් කරන ලද වාරණ නියෝගය දෙවන වගඋත්තරකරුට බලපාන්නේ නැහැ. ඉතින් අපි මේකෙන් නිදහස්. අපිට පුළුවන් මේ ගුවන්යානයට යන්න අවසර දෙන්න. අපේ සිවිල් ගුවන් සේවයේ අධ්‍යක්ෂතුමා මේ බව එරෝෆ්ලොට් සමාගට දැනුම්දුන්නා. ඔයා ඉල්ලීමක් කළොත් අපිට මේ ගුවන්යානය ගෙනියන්න ඉඩදෙන්න පුළුවන් කියලා. රුසියන් තානාපතිටත් දැනුම්දුන්නා. නමුත් සමාගම එවැනි ඉල්ලීමක් කළේ නැහැ. මොකද මම හිතන්නේ ඒ අයට විරුද්ධව ඉල්ලීමක් කළා නම් ඒ අය උසාවියට අපහස කිරීමේ චෝදනාවට ලක්වෙන්න ඉඩ තියෙනවා.
මොකද ඒ අයට විරුද්ධව වාරණ නියෝගයක් තියෙන නිසා. ඒ නිසා අපේ පැත්තෙන් කිසිම වරදක් වෙලා නැහැ. නමුත් රජය මේ ගැන උසාවියට යනවා. ජාතික ආර්ථිකයට සිදුවූ හානිය සලකා බලා. මේ තීන්දුව පිළිබඳව තිබෙන නීතිමය පසුබිම ගැනත් නව කරුණු කියලා මෙය යථා තත්ත්වයට පත්කිරීම සඳහා නීතිපතිවරයා සඳුදා උදේ උසාවියට වෙනමම අයඳුම්පතක් අරගෙන යනවා. මෙය සමථයකට පත්කර ගැනීම සඳහා."
රුසියාවේ ප්‍රධානතම ගුවන් සේවය වන එරොෆ්ලෝට් සමාගමට අයත් යානයක් පසුගිය ජුනි 02 වනදා මෙරටින් පිටත්ව යාමට සූදානම්ව සිටි නමුත් එම යානය ගුවන්ගත වීම මෙරට සිවිල් ගුවන් බලධාරීන් වළක්වා තිබුණි.
ඒ, එරොෆ්ලෝට් සමාගමට එරෙහිව අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රෙිඩින් ටෙන් ලිමිටඩ් සමාගම ගොනු කළ නඩුවක් හේතුවෙන් කොළඹ වාණිජ මහාධිකරණය එම ගුවන්යානයට පියාසර කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමත් සමගය.
අදාළ නඩුවෙන් අයර්ලන්ත සමාගම චෝදනා කර තිබුණේ එරොෆ්ලෝට් සමාගම එම ගුවන් යානයට අදාළව කළ යුතු ගෙවීම් පැහැර හැර ඇති බවටය. අදාළ වාරණ නියෝගය ජුනි 16 දක්වා බලපැවැත්වෙන අතර මේ හේතුවෙන් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ අංගනයේ දුරස්ථ ස්ථානයක තවමත් රඳවා තිබේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා රුසියානු බලධාරීන් සිය අප්‍රසාදය පළකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය අවසන් තීරණයට එළඹෙමින් පවතින අතර සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහාද මෙම ගැටලුව සාකච්ඡා කෙරෙමින් පවතින බවය.
ඒ අනුව රුසියානු එරොෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධ ගැටලුව ශ්‍රී ලංකාව හා රුසියාව අතර අර්බුදයක් නොව අධිකරණය හමුවේ ඇති පෞද්ගලික නීතිමය ගැටලුවක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රුසියාවට නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙම ගැටලුවට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් මෙම ගැටලුවත් සමග එරොෆ්ලෝට් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකිරීමට නියමිත වාණිජ ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. එවැනි පසුබිමක රුසියාවේ මොස්කව් සිට තවත් එරොෆ්ලෝට් ගුවන් යානයක් මගීන් නොමැතිව අද දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර මෙරට රැඳී සිටි රුසියානු ජාතිකයින් 275 දෙනෙකුද රැගෙන එම යානය අද දහවල් යළි රුසියාව බලා පිටත් වුණි. වාරණයට ලක්වූ ගුවන් යානය හේතුවෙන් මෙරට රැඳී සිටීමට සිදුවූ රුසියානු මගීන් 191 දෙනා අතරින් අවසන් කණ්ඩායමද ඊට අයත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |