රඹුක්කන දී පැහැර ගත්තා යැයි කියන තරුණයා දැන් ඉන්න තැන - රඹුක්කන සිද්ධියෙන් නවතම තත්වය මෙන්න..
රඹුක්කන සිද්ධියේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. මේ අතර අදාළ සිද්ධිය වන ස්ථානයේ පැවති ඉන්ධන බවුසර් දෙක, ඊයේ රාත්‍රියේ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.
ඊයේ රාත්‍රි 7.30 ට පමණ මහේස්ත්‍රාත්වරිය කෑගල්ල පොලිස් ස්ථානය භාරයේ පවතින මෙම ඉන්ධන බවුසර් දෙක නිරීක්ෂණයට ලක් කළ බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ. එමෙන්ම, පසුගියදා ඇතිවූ විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න බව ඊයේ අධිකරණය හමුවේ අනාවරණ වුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පත්කළ කමිටුව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම ටී-56 ගිනි අවි 04 ක් සහ උණ්ඩ 35 ක් භාවිත කර ඇති බවයි.
මේ අතර මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් එහි පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම ඊයේ පස්වරුවේත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන නගරයේ පසුගිය 19 වනදා පෙරවරුවේ ආරම්භ කළ මහජන විරෝධය පස්වරුව වනවිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් බවට පත් වුණා.
මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ පොලිසිය, අනතුරුව සිදු කළ වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් මියගිය අතර, තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා.
එමෙන්ම පොලිස් නිලධාරීන් විස්සකට වැඩි පිරිසක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මේ අතර රඹුක්කන - පින්නවලවත්ත - ධර්මපාල මාවත ප්‍රදේශයේ තරුණයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තාවනවා.
නමුත්,පැහැරගත් බවට වාර්තා පළ වූ රඹුක්කන - පින්නවල ප්‍රදේශයේ පදිංචි තරුණයා විමර්ශන සඳහා සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |