කොළඹ විරෝධයෙන් අත්අඩංගුවට ගත් භික්ෂුවක්, කාන්තාවන් ඇතුළු 21ට අධිකරණයෙන් ලැබුනු තීන්දුව
අද පෙරවරුවේ කොළඹ මුදල් අමාත්‍යංශයේ පිවිසුම් දොරටු දෙකක් අවහිර කරමින් විරෝධතාවයේ නියැලී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා ඇප මත මුදාහැර තිබේ.
ඒ පිරිස අතර බෞද්ධ භික්ෂුවක්, කාන්තාවන් සිව්දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සිටියහ. මොවුන් අද උදෑසන කොළඹ කොටුවේ ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇති පිවිසුම් අවහිරකරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස එම පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර තිබු බවත් එම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා සේවයට වාර්තා කිරීමට මුදල් අමාත්‍යංශයේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට විවිධ දුෂ්කරතා සඳහා මුහුණදීමට සිදුවූ බවය.
එම ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණි මහජනයාටද විවිධ අපහසුතා සඳහා මුහුණ පෑමට සිදුවූ බව එම නිවේදනයේ දැක්වෙයි.
විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ දොරටුව අවහිර කර තිබීම හේතුවෙන් අයි එම් එෆ් නියෝජිතයින් සමහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගී වීමට තිබූ සාකච්ඡාවට පවා බාධා එල්ල වී තිබු බව පොලීසිය පැවසීය. අනතුරුව පොලිස් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව විරෝධතාකරුවන් ව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇපමත මුදාහැර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |