ජනපති කාර්යාලයට පිවිසෙන පිවිසුම් මාර්ගයක් වැසූ 21 දෙනෙකුට සිදු කළ දේ..විරෝධතා වල නවතම තත්වය

Sri Lanka Army Sri Lanka Police Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sewvandhi Jun 20, 2022 07:56 AM GMT
Report

ජනාධිපති කාර්යාලය සඳහා ලෝටස් මාවත දෙසින් භාවිත කරමින් තිබූ පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශය මෙන් ම මහා භාණ්ඩාගාරයට පිවිසීම සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙකද අවහිර කරමින් විරෝධතාවයේ නිරතවු 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පිරිස අතර හිමි නමක්, කාන්තාවන් හතරදෙනෙකු සහ පිරිමි 16 දෙනෙකු වන බවයි.

ගාලු මුවදොර විරෝධතාකරුවන් පිරිසක් ඊයේ රාත්‍රියේ මෙම පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ඉදිකර විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන්ට මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා පැමිණි මහජනතාවට කාර්යාල තුළට යාමට හෝ ඒමට නොහැකි තත්වයක් උද්ගත වුණා.

දොරටුව අවහිර වීම නිසා කාර්යාල කටයුතුවලට බාධා එල්ලවූවා සේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල පිරිස සමඟ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගිවීමට තිබූ සාකච්ඡාවලටද බාධා එල්ලවූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. කෙසේ වෙතත් අද (20) පෙරවරුවේ පොලිසිය මෙම අට්ටාල ගළවා ඉවත් කළ අතර, ඊට විරෝධය පෑ පිරිසක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද කැඳවීමටයි පියවර ගෙන තිබුණේ. මේ හේතුවෙන් ගාලු මුවදොර දෙසට දිවෙන ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

මෙම තත්ත්වය හමුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර, සමාජ ක්‍රියාකාරිකයින් වන අනුරුද්ධ බණ්ඩාර, ඉසුරු වර්ණකුලසූරිය සහ අර්ජුණ රාජපක්ෂ ද වනවා. අත්අඩංගුවට ගත් විසි එක්දෙනා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විරෝධතාකරුවන් මෙලෙස මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ පිවිසුම් අවහිර කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දසදෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡාවල නිරතවන පසුබිමකයි.

දැනට පවතින අර්බුදය විසඳීමට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ප්‍රධානතම ආයතනය මුදල් අමාත්‍යාංශය වන අතර මෙම විරෝධතා හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ කටයුතුවලටද බාධා මතුව තිබූ බවයි වාර්තා වුණේ.

එසේ ම මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට පැවති විරෝධතා නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යාමට පැය භාගයක පමණ කාලයක් ප්‍රමාද වී ඇතැයිද වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now