රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් ගැන දුක්බර ආරංචියක්..

Government Of Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Aruna Apr 12, 2024 06:53 AM GMT
Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වසර දහතුනක් තිස්සේ කිසිදු ආකාරයකින් වැටුප් වැඩි නොවීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව සිටින බව නිලධාරිහු පවසනවා.

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හයදහසකට අධික පිරිසක් සේවයේ යෙදී සිටින අතර, වසර දහතුනක සිට කිසිදු වැටුප් වැඩිවීමක් නොවූ බව නිලධාරිහු කියති.

බන්ධනාගාර නියාමකවරයකුගේ මූලික වැටුප රුපියල් 24500ක් පමණ වන අතර සියලු දීමනා සමග එය රුපියල් හතළිස් පන්දහසක් පමණ වන බවත් රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමග මෙය ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි ඔවුහු පවසන්නේ.

දුර බැහැර සිට සේවයට පැමිණෙන ඇතැම් නිලධාරින්ට වැටුප් ගැටලුව බොහෝ සෙයින් බලපා තිබේ.

නිලධාරිහු චෝදනා කරන්නේ, පැය අටක සේවා කාලයක් පැවතියද දිවයින පුරා බන්ධනාගාරවල නිලධාරී හිඟය හේතුවෙන් දැනට රාජකාරියේ යෙදෙන නිලධාරින්ට දැරිය නොහැකි තරමට රාජකාරි පැවරී ඇති බවයි.

නිලධාරින්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොමැති අතර සෑම වසරකට වරක් නිලධාරින් වෙනුවෙන් සපත්තු දිය යුතු වුවත් 2022 වසරට අදාළ සපත්තු තවමත් ලැබී නොමැති බවද නිලධාරිහු කියා සිටියි.

බන්ධනාගාර නියාමකවරුන් ලෙස උපාධිධාරින් සිටියද සුදුසුකම් අනුව එම තනතුරෙන් ඉහළට යාමට ක්‍රමවේදයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද වාර්තා වනවා.