රටේ ඉදිරියේදි වෙනසක්..? මල්වතු අස්ගිරි හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්..

srilanka President Gotabhaya rajapaksha
By Sithumi Mar 21, 2022 12:37 PM GMT
Report

දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 13ක් ඇතුළත් ලිපියක් මල්වතු - අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

 මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ අත්සනින් යුතු ව ජනාධිපතිතුමා මෙම ලිපිය යොමු කර ඇති බව යි වාර්තා වන්නේ. උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව ලිපිය මඟින් මහානායක හිමිවරු පෙන්වා දෙනවා.

විදේශ විනිමය අර්බුදය සමනය කරගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජීවන වියදම පහත හෙළීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම ද යෝජනා අතර වෙයි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම, ආර්ථික අර්බුදය හමුවේ අනිසි මූල්‍ය වාසි වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘතිම ව නිර්මාණය කරන කූට වෙළෙඳුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මහානායක හිමිවරුන් යොමු කළ ලිපියේ ඇතුළත්.

ආයෝජන සඳහා දිරිගැන්වීම, පාරදෘශ්‍ය ආර්ථික සැලැස්මක් තුළින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකරගැනීම සේම අපනයන ආර්ථියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ලිපියෙහි යෝජනා අතර ඇති තවත් ප්‍රධාන කරුණු කිහිපයක්. රටේ නව ආයෝජනය දිරිමත් කිරීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම, නාස්තිය, දූෂණය, සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා වන තිරසර සැලසුමක් සැකසීමේ වැදගත්කම ද උන්වහන්සේලා අවධාරණය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now