හිස්වැසුම් නැතුව යතුරුපැදියේ ගිය සිසුවාට පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ප්‍රහාරයක්.. සිසුවා රෝහලේ..

Police spokesman Sri Lanka Police Kalutara Kalutara Incident
By Sithumini Aug 08, 2024 12:40 PM GMT
Report


පාසල් සිසුවෙකු පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස රෝහල් ගතවී ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති 16 හැවිරිදි පාසල් සිසුවෙක්.

මෙම සිසුවා ඊයේ (07) පස්වරුවේ මිතුරෙකු සමග පියාගේ යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර එහිදී මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බව වාර්තා වනවා.

ඒ බව දුටු පයාගල පොලීසියේ රථවාහන අංශයේ ජංගම රාජකාරීවල නිරතවී සිටි නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස හඹා ගොස් යතුරුපැදිය නතර කර බැනවැදී තිබුණා.

ඉන් බියට පත්වී ඇති පාසල් සිසුවා යතුරුපැදිය ක්‍රියාත්මක කර අසල ඥාති නිවසක් කරා එය ධාවනය කිරීමත් සමග ලුහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් යතුරුපැදියේ පසුපැදිකරු ලෙස සිටි සිසුවාට පහරක් එල්ලකර තිබෙනවා.

පසුව යතුරුපැදිය ධාවනය කළ සිසුවාට කිහිප වරක් පහරදී ඇති බවද පැවසෙනවා. පහරකෑමෙන් බිම ඇදවැටී ඇති සිසුවාව මෙලෙස රෝහල්ගත කර ඇති අතර අදාළ සිසුවා ප්‍රකාශ කර ඇත්තේ බිම ඇද වැටුණු පසු පොලිස් නිලධාරියෙක් තමාගේ කොන්ද ප්‍රදේශය පෑගූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා පැමිණිල්ලක් සිදුකර තිබුණා.