දේව මෙහෙයක් අතරේ සිදු වූ දේ මෙන්න..සියලුම දේවස්ථාන වලට ආරක්ෂාව තර කරයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Christmas Eve
By Aruna Dec 25, 2023 04:46 AM GMT
Report

උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් හා මුදල් තොගයක් අද (25) අලුයම නිවැසියන් නොමැති අවස්ථාවේදී සොරා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය පවසනවා.

පොලීසිය කියා සිටියේ, කෝටිපති පොල් හා ඉස්සන් ගොවිපොළක ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් සොරුන් විසින් මෙසේ කොල්ලකා ඇති බවයි.

අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තම බිරිඳ හා දරුවන් සමග පුනපිටිය ජේසු බිළින්දා දේවස්ථානයේ ඊයේ (24) රාත්‍රි පැවති නත්තල් දේව මෙහෙයට ගොස් ආපසු අද අලුයම නිවසට පැමිණෙන විට නිවසේ තිබු රන් හා මුදල් කොල්ලකා ඇති බවට තහවුරු වීමෙන් පසු පොලීසියට පැමිණිලි කර ඇත.

මුලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, අදාළ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී ඇති බවයි.

අදාළ සොරකම පිළිබඳව උඩප්පුව පොලිස්ථානයේ වැඩබලන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

සොරකම සම්බන්ධව පොලිස් සුනඛ ඒකක හා පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් යොදවා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර, අසිරිමත් නත්තල සැමරෙන අද (25) දිනයේත් දිවයිනේ සියලු ‍දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

තල්දූව මහතා ප්‍රකාශ කළේ, මෙලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 යන විශේෂ අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දීමක් සිදුකළ හැකි බවයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.

ඊට අමතරව බීමත් රියදුරන් සහ සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරම් සිදුකරන පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කළේ, මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 1,004 දෙනෙකු අද විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කෙරෙන බවයි.

අද දිනයේත් මීට පෙර ප්‍රකාශයට කළ පරිදි විශේෂ දුම්රිය ගමන්වාර සහ අවශ්‍යතාව පරිදි බස් රථ ගමන්වාර ධාවනයට එක්කර ඇති බවයි ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්. ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, උත්සවය සමය අවසන් වන තෙක් මෙම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කළේ, දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් පමණ යෙදවීමට නියමිත අතර අද දිනයේත් අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.