ඔමික්‍රොන් ගැන භයානක අනතුරු ඇඟවීමක්..වහාම මේ දේ කරන්න..

Corona Sri Lanka World Who Omicron
By Aruna Jan 07, 2022 04:30 AM GMT
Report

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ බලපෑම සුළු කොට නො සළකන්නැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

මේ අතර මෙරට ජනගහණයෙන් 28%කට මේ වනවිට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් තුන්වන මාත්‍රා ලබා දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ප්‍රකාශ කළේ, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් සුළු බලපෑමක් ඇතිවන බව සැළකීම අනතුරුදායක බව යි.

එමඟින් ලොව පුරා පුද්ගලයින් මියයන බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළා. මෑතක දී සිදු කළ අධ්‍යයන මඟින් ප්‍රකාශ වූයේ, ඔමික්‍රොන් ආසාදනයෙන් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවස්ථා අවම බවයි.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ, ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් ලොව පුරා කොරෝනා ආසාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය, එම රටවල සෞඛ්‍ය පද්ධති කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

පසුගිය සඳුදා ඇමරිකා එක්සත් ජනපදයෙන් මිලියනයක දෛනික ආසාදිතයන් වාර්තා වූයේ ද ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් වීමද විශේෂත්වයක්.

ගත වූ සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදනය 71%කින් ඉහළ ගොස් ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ එය සියයට සියයක වර්ධනයක්.

එහි දී ලොව පුරා අසාධ්‍ය තත්ත්වයට පත් වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 90%ක්ම එන්නත්කරණය නො ලැබූවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නා.

එන්නත්කරණය ලැබූවන් සඳහා ඔමික්‍රොන් ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සුළු ආබාධ පෙන්නුම් කළ ද එමඟින් එය, දුර්වල ප්‍රභේදයක් ලෙස සැළකිය නො හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

අනෙකුත් කොරෝනා ප්‍රභේදයන් මෙන්ම ඔමික්‍රොන් මගින්ද පුද්ගලයන් රෝහල් ගතකිරීම සහ මරණයට පත්වීම සිදු වනවා.

මේ නිසා කොරෝනා සුනාමියක් කඩිනමින් පැමිණීම වළක්වා ගත යුතු බව ඔහු කියා සිටියා. මේ අතර බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත ලබාදීම තවත් කඩිනම් කරන ලෙස, තමන් උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී සඳහන් කළා.

ඒ සඳහා සෑම කොට්ඨාසයකට ම මධ්‍යස්ථාන කිහිපයක් එක් කෙරෙනවා.

මේ වනවිට මෙරට බූස්ටර් එන්නත ලබාගෙන ඇති ප්‍රතිශතය ජනගහනයෙන් 28%කට අධිකයි.

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 584 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 590,063ක් දක්වා ඉහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now