ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අලුත් අනාවරණයක්..අති භයානක තත්ත්වයක්.

Sri Lanka Who Omicron
By Aruna Dec 16, 2021 08:32 AM GMT
Report

ඔමික්‍රෝන් ප්‍රභේදය, මුල් කොවිඩ් ප්‍රභේදයට හා ඩෙල්ටා ප්‍රභේදයට වඩා හැත්තෑ ගුණයක් වැඩි වේගයකින් ශ්වාසනාල පටකයේ වර්ධනය වන බව හොංකොං විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එම ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියට හේතුව මෙය වියහැකි බව අධ්‍යයනය සිදුකළ කණ්ඩායම පවසා ඇත.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය පෙනහළු පටකයේදී වර්ධනය වන වේගය දස ගුණයකින් පමණ අඩු බවත් අධ්‍යයනයේදී හෙළි වී ඇත.

එය රෝගීන් බරපතළ තත්ත්වයට පත්වීම අඩු බවට පෙන්වන සලකුණක් විය හැකි බවද අධ්‍යයන වාර්තාවේ සඳහන්.

ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා යළි වසංගතය උත්සන්න වී ඇති එක්සත් රාජධානියෙන් මෙතෙක් හඳුනාගත් ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ 78,610 ක් ලෙසිනි.

මීට පෙර එක්සත් රාජධානියේ වැඩිම දෛනික ආසාදිතයන් පිරිස ලෙස වාර්තා අතරට එක්වී තිබූ ආසාදිතයන් 68,053ක පිරිස හඳුනාගෙන තිබුණේ පසුගිය ජනවාරි 8 වැනිදාය.

එවකට එක්සත් රාජධානිය ලොක්ඩවුන් කර තිබුණි.

මේ වන විට සංචරණ සීමා ඉවත් කර ඇති බැවින් හා නත්තල් නිවාඩු සමය හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් දෛනික ආසාදිතයන් වාර්තා අලුත් වනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාව නව කොවිඩ් රැල්ලකට මුහුණදෙමින් සිටින බව විදෙස් වාර්තා පැවසීය.

එරට ප්‍රාන්ත 8කින් මේ වන විට නව ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now