රෝගින්ට භයානක තත්වයක්.. සෞඛ්‍යය සේවා වැඩවර්ජනයේ තත්වය.. (VIDEO)

srilanka Health covid 19 Nurse stricke
By Sithumi Feb 07, 2022 03:28 PM GMT
Report

දැනට ක්‍රියාත්මක කර ඇති අඛන්ඩ වැඩවර්ජනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරි දින හත ඇතුළත අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවලින් ද ඉවත්වන බවට හෙද - පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති අනතුරු අඟවනවා.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් හෙද - පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීන් 17ක පිරිස් අද උදෑසන සිට දීපව්‍යාප්තව අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව ඇතුළු ප්‍රධාන රෝහල් හා ආයතන 10ක අත්‍යාවශ්‍ය ප්‍රතිකාර හා සේවා තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වර්ජනයට සහය පළ නොකරන බවයි එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සිය දේශපාලනික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති මෙම වර්ජනය සිදුකරන බවයි

හෙද සේවාවට අමතරව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදීන් ඇතුළු අංශ ගණනාවක වෘත්තිකයන් වර්ජනය සදහා එක්ව සිටින අතර මේ හේතුවෙන් අද ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දුෂ්කරතාවට පත් වුණා. එමෙන්ම, පෞද්ගලික රෝහල්වලින් ඖෂධ ලබා ගැනීමට නිකුත් කළ තුණ්ඩුවලට ඖෂධ නිකුත් කළ ද රත්නපුර මහරෝහලෙන් නිකුත් කළ තුණ්ඩු සඳහා බෙහෙත් ලබා නොදීමේ සිද්ධියක් ද රත්නපුර රාජ්‍ය ඔසුසැලෙන් වාර්තා වුණා.

මේ අතර මෙවැනි අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේදී අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඊට සම්බන්ධ කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉල්ලා සිටියා.

ඊයේ මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන්  වෘත්තීය සමිති නායක රවි කුමුදේශ් මහතාගේ අදහස් පහතින් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now