සර්වපාක්ෂික අරගල කරුවන්ගෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Police Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sithumi Jun 20, 2022 12:59 PM GMT
Report

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් 21 දෙනෙකු අත්තඅඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සර්වපාක්ෂික අරගලකරුවෝ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විවිධ කුමන්ත්‍රණකාරී චෝදනා මත සීමාවට ලක් කිරීමට දරන උත්සාහයන් කිසිසේත් අනුමත නොකරන බවයි.

අද උදෑසන ජනාධිපති කාර්යාලය අවටට අරගලකරුවන් රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්..

මාධ්‍ය නිවේදනයයි 2022.06.20 අරගලකරුවන්ගේ විරෝධය අසාර්ථක ජනපති නන්දසේනට මිස ජාත්‍යන්තර ආයතන කෙරෙහි නොවේ. ගෝල්ෆේස් අරගල භූමියට නුදුරින් පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (20දා) ගෝඨා - රනිල් ආණ්ඩුව විසින් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් 21 දෙනෙකු අනීතකව හා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය 'සර්වපාක්ෂික අරගලකරුවෝ' ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විවිධ කුමන්ත්‍රණකාරී චෝදනා මත සීමාවට ලක්කිරීමට දරනු ලබන නින්දිත උත්සාහයන් අප සංවිධානයත්, මෙරට ජනතාවත් කිසිසේත්ම අනුමත නොකරමු. අද උදෑසන ජනාධිපති කාර්යාලය අවටට අරගලකරුවන් රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරමු.

ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා විසින් රට බංකො⁣⁣ළොත් කර, රටේ ජනතාව ආර්ථික අහේනියකට පත්කර ඇති මෙවන් මොහොතක ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව ලැබිය යුතු සහාය වර්තමාන ගෝඨා - රනිල් පාලනයට නිසියාකාරව ලැබේ යැයි අපි කිසිසේත් විශ්වාස නොකරමු.

එවන් තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කණ්ඩායමක් මෙරටට පැමිණීම 'සර්වපාක්ෂික අරගලකරුවෝ' වශයෙන් අපි ධනාත්මකව සැලකිල්ලට ගනිමු. ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකා ජනතාව ඔවුන් මුහුණදෙන වත්මන් ආර්ථික අර්බුදයෙන් ගලවාගැනීම සඳහා අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට බාධා කිරීමට අරගලකරුවන් හෝ පුරවැසියන් වශයෙන් අප කිසිවෙකුටත් කිසිදු අවශ්‍යතාවක් නොමැත. එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක හෝ රටක නියෝජිත කණ්ඩායමකට කිසිදු අවහිරයක් හෝ බාධාවක් සිදු කිරීමට අප ක්‍රියා නොකරන බව දැනුම්දීමටද කැමත්තෙමු.

මේ අරගලය යුක්තියේ අරගලයක් මිස ප්‍රචණ්ඩත්වයේ අරගලයක් නොවන බවද අප යළි යළිත් මතක් කර දීමට කැමැත්තෙමු. එහෙයින් මෙම අත්අඩංගුවට ගැනීම් පිටුපස ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකභාවය වසාගැනීමේ කූට උත්සාහයක් සහ අරගලකරුවන් බොරු චෝදනා මත මර්දනයට ලක්කිරීමේ පිළිකුල්සහගත වෑයමකි.

එමෙන්ම සාමකාමී අරගලකරුවන් අනීතිකව හා අත්තනෝමතිකව මර්දනය කිරීමට දරන උත්සාහයන් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධාන මෙරටට ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වනු ඇතැයි කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු විය නොහැකිය.

එවැනි වාතාවරණයක මීට පෙර විද්වතුන් ඇතුළු විෂය ප්‍රවීණයන් දිගින් දිගටම අනතුරු ඇඟවීම් කරද්දී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම චේතනාන්විතවම ප්‍රමාද කළ ත්‍රාඩ පාලකයන් අද දිනයේ ඒ පිළිබඳ වගකීම අරගලකරුවන් වෙත පැටවීමට උත්සාහ දැරීම පිළිබඳ අපි නිර්දය ලෙස හෙළා දකිමු.

සැමවිටම රටේ අධිකරණය පිළිබඳ විශ්වාසය තබන අරගලකරුවන් ලෙස අපි මේ පිළිබඳ යුක්තිය ඉටුවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. මෙවන් ත්‍රාඩ සහ අනීතික මැදිහත්වීම් හරහා සිදුවන්නේ ගෝඨා රනිල් ආණ්ඩුවේ ආයු කාලය තව තවත් කෙටි වීම පමණක් මිස අරලකරුවන්ගේ සැබෑ ශක්තිය දුර්වල වීම නොවන බවද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අසාර්ථක පාලකයන්ට අපි නැවත නැවතත් සිහිපත් කරමු.

- සර්වපාක්ෂික අරගලකරුවෝ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now