"..ඉදිරි දිනවල පෝලිම්වල රැඳී සිටින්න එපා..! ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා වලට පමණයි.." බලශක්ති ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..!
සැලසුම් කළ පරිදි ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමාකිරීමට සිදුවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (25) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මීළඟ ඉන්ධන තොගය දිවයිනට ලැබෙන තෙක් පොදු ප්‍රවාහනය, විදුලි බලාගාර සහ කර්මාන්ත යනාදී කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් පවතින ඉන්ධන තොග නිකුත් කිරීම සිදුකරන බවය.
ඉදිරි සතිය තුළ සීමිත පෙට්‍රල් හා ඩීසල් තොග ඉන්ධනහල් කිහිපයකට පමණක් බෙදාහැරීම සිදුකරන බැවින් පෝලිම්වල රැදීනොසිටින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම සතියේ සහ ඉදිරි සතියේ මෙරටට පැමිණීමට තහවුරු කර තිබූ පෙට්‍රල්, ඩීසල් හා බොරතෙල් නෞකා, බැංකු හා සැපයුම්වල ගැටලු හේතුවෙන් නියමිත වේලාවට ලබාදීමට නොහැකි බවට සැපයුම්කරුවන් විසින් දැනුම් දී ඇති අතර මෙම තත්ත්වය තුළ ඉන්ධන නෞකා පැමිණෙන දිනයක් තහවුරු කිරීමට ඛණිජ තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
මීළඟ බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදුව ද තාවකාලිකව වසා දැමෙන අතර සිදුව ඇති ප්‍රමාදය සහ අපහසුතාව පිළිබඳ සමාව අයදින බවද කංචන විජේසේකර අමාත්‍යවරයාගේ ටිව්ටර් පණිවුඩයේ සඳහන් වෙයි.
මේ අතර කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද දහවල් 12.00 සිට නවතා දමා ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව මේ දක්වා තම ඇනවුම් කිසිවක් භාරගෙන නොමැති බවද එම සංගමය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |