පෙට්‍රල් මිල වැඩි වීම ගැන දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Petrol diesel price Fuel Price In World
By Aruna Dec 24, 2023 01:17 AM GMT
Report

එකතු කළ අගය මත බදු (වැට්) ඉහළ දැමීම යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් පමණ බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ, රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා පැවසුවේ.

මේ අනුව ඔහු කියා සිටියේ, පෙට්‍රල් සඳහා මෙතෙක් අය කරනු ලබන 7.5%ක් වූ වරාය හා ගුවන් තොටුපොළ බද්ද ජනවාරි සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේ, 2024 අය වැය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති සබඳතා අංශය විසින් අරලියගහ මන්දිරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී ය.

මේ අනුව වැට් බද්ද ලබන වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදා සිට 18%කින් ඉහළ දැමුවද, පෙට්‍රල් මිලට බදු වැඩි වන්නේ 10.5%කින් පමණ බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් යටතේ, ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත් කළා.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව ඉන්ධන, ළදරු කිරිපිටි, තිරිඟු පිටි, සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන් අයත් වේ.

එමෙන්ම, දේශීය ඇඟලුම් නිෂ්පාදන, අධ්‍යාපන සේවා, අධ්‍යාපනික සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, විදුලිය බෙදාහැරීම, භූමදාන හා ආදාහන සේවා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා, විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා ද එම භාණ්ඩ ගණයට අයත් වේ.

තව ද, ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා, විවිධ කාණ්ඩ යටතේ වූ මුල්‍ය සේවා, රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා, සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාදන මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි ද එම වැට් බද්දට යටත් නොවේ.