Google Account එක Lock වුණොත් ලේසියෙන්ම Recovery කරගන්න අලුත් ක්‍රමයක්
ගූගල් ගිණුම් යළි ලබාගැනීමට සෙල්ෆි වීඩියෝ මගින් අනන්‍යතාව තහවුරු කිරීමේ නව පහසුකමක් ගූගල් (Google) සමාගම විසින් සිය පරිශීලකයින්ට මුරපද අමතක වූ අවස්ථාවලදී හෝ සාමාන්‍ය ප්‍රවේශ ක්‍රම අහිමි වූ විට ගිණුම යළි ලබාගැනීම සඳහා සෙල්ෆි වීඩියෝවක් භාවිතයෙන් අනන්‍යතාව තහවුරු කිරීමේ නව පහසුකමක් හඳුන්වා දී තිබේ.
මෙම නව ක්‍රමවේදය මගින් පරිශීලකයාට පෙර සුරකින ලද සෙල්ෆි වීඩියෝවක් සහ ගිණුම ප්‍රතිසාධනය කිරීමේදී ලබාදෙන නව වීඩියෝවක් සංසන්දනය කරමින් අනන්‍යතාව තහවුරු කර ගැනීමට ගූගල් පද්ධතිය කටයුතු කරයි.

ක්‍රියාත්මක වන ආකාරය මෙම පහසුකම භාවිත කිරීමට කැමති පරිශීලකයින්ට පළමුව ගූගල් උපදෙස් අනුව හිස විවිධ දිශාවලට චලනය කරමින් කෙටි සෙල්ෆි වීඩියෝවක් පටිගත කර සුරැකිය හැක.
පසුව ගිණුමට ප්‍රවේශ වීමට නොහැකි අවස්ථාවකදී සජීවී සෙල්ෆි වීඩියෝවක් ලබාදිය යුතු අතර, එය පෙර සුරකින ලද වීඩියෝව සමඟ සසඳා පරිශීලකයාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ගූගල් පද්ධතිය කටයුතු කරයි.
පුද්ගලිකත්වය සහ ආරක්ෂාව

ගූගල් සමාගම සඳහන් කරන්නේ, පරිශීලකයාගේ පැහැදිලි එකඟතාව මත පමණක් මෙම වීඩියෝ සුරකින බවත්, ඒවා සංකේතනය (Encrypted) කර ආරක්ෂිතව තබන බවත්ය.
එමෙන්ම ඕනෑම අවස්ථාවක මෙම වීඩියෝ මකා දැමීමට පරිශීලකයාට හැකියාව පවතින අතර, වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීම සිදු නොකරන බවද සමාගම පවසයි.
මෙම ආරක්ෂණ ක්‍රමවේදය වංචා වැළැක්වීම සඳහා සජීවී බව හඳුනාගැනීමේ තාක්ෂණය (Liveness Detection) ඇතුළු බහු-ස්ථර ආරක්ෂණ පියවර සමඟ ක්‍රියාත්මක වේ. ඒ අනුව, වෙනත් පුද්ගලයන්ගේ ඡායාරූප, පෙර පටිගත කළ වීඩියෝ හෝ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ ඩීප්ෆේක් (Deepfake) වැනි ක්‍රම මගින් සිදුකළ හැකි වංචා අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.
පහසුකම ලබාදීම

මෙම නව පහසුකම සුදුසුකම් ලත් ගූගල් ගිණුම් හිමියන් වෙත ලොව පුරා අදියරෙන් අදියර ලබාදීමට කටයුතු කරමින් පවතින බව සඳහන් වේ. කෙසේ වෙතත්, Google Workspace ගිණුම්, ළමා ගිණුම් (Child Accounts) සහ Advanced Protection Program යටතේ ලියාපදිංචි ගිණුම් සඳහා මෙම පහසුකම මේ වනවිට ලබා නොදෙන බවද ගූගල් සමාගම සඳහන් කරයි.